en banner

IMG 3822ගැඹුරු මුහුදේ විවිධ තාක්ෂණික දෝෂ හා ආපදාවලට ලක්ව ඇති මෙරට බහුදින ධීවර යාත්‍රා කිහිපයක ආරක්ෂාව සහ ඒවා ගොඩබිමට රැගෙන ඒමේ කටයුතු පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සෘජු මැදිහත්වීමක් සිදුකරමින් සිටින බව එහි අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.

යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය (VMS) හරහා දැනට වාර්තා වී ඇති සිදුවීම් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පහත තොරතුරු අනාවරණය කළේය:

- IMULA 1388 MTR යාත්‍රාව: ඉන්දුනීසියානු මුහුදු සීමාව ආසන්නයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පාවෙමින් පවතින මෙම යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒම සඳහා එම හිමිකරුගේම IMULA 1112 TLE යාත්‍රාව පසුගිය මැයි 14 වැනිදා පිටත්ව ගොස් ඇත. එම සහායක යාත්‍රාව තව දිනක් ඇතුළත ආපදාවට පත් යාත්‍රාව පවතින ස්ථානයට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

- 0700 GLE යාත්‍රාව: මුහුදේදී ආපදාවකට ලක්ව අතහැර දැමූ මෙම යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස 1034 gle යාත්‍රාව මගින් නිරුපද්‍රිතව මුදාගෙන තිබේ. එම ධීවරයින් දැනට එම යාත්‍රාවේම රැඳී සිටිමින් ධීවර කටයුතුවල නිරත වන බව තහවුරු වී ඇත.

- 0181 TCO යාත්‍රාව: තාක්ෂණික දෝෂයකට ලක්ව තිබූ මෙම යාත්‍රාව, 1907 MTR යාත්‍රාව මගින් මේ වන විට ගාල්ල වරාය වෙත ඇදගෙන එමින් පවතී. එම යාත්‍රා මේ වන විට ගාල්ලේ සිට නාවික සැතපුම් 120ක් පමණ දුරින් පවතින බව වාර්තා වේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සුසන්ත කහවත්ත මහතා, ජාත්‍යන්තර මුහුදේදී ආපදාවට ලක්වන යාත්‍රා නැවත ගොඩබිමට රැගෙන ඒම අතිශය වියදම්කාරී මෙන්ම දීර්ඝ කාලයක් ගතවන කටයුත්තක් බව පෙන්වා දුන්නේය.

"ධීවර රැකියාව සඳහා පිටත්ව යාමට පෙර තම යාත්‍රාවේ තාක්ෂණික යෝග්‍යතාව පිළිබඳව සහතික කර ගන්නා ලෙස අපි සියලුම යාත්‍රා හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. නිසි ලෙස අලුත්වැඩියා කටයුතු සිදුකළ, තාක්ෂණිකව සර්වසම්පූර්ණ යාත්‍රා පමණක් රැකියාව සඳහා යොමු කිරීමෙන් මෙවැනි ආපදාවන් අවම කරගත හැකියි. එමගින් ධීවර කාර්මිකයන්ගේ ජීවිත ආරක්ෂාව මෙන්ම යාත්‍රා හිමිකරුවන්ගේ දේපළ ආරක්ෂාව ද තහවුරු වන බව අවධාරණය කළ යුතුයි." යැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

Youtube