සෝමාලියා මුහුදු මංකොල්ල කරුවන් විසින් දැනට මාස දෙකකට ඉහතදි පැහැරගනු ලැබු ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සීෂෙල්ස් මුහුදු ආරක්ෂක හමුදාව විසින් මුදාගත් පසු, ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සදහා රාජ තාන්ත්‍රික වශයෙන් කලයුතු සියලු කටයුතු ඉටුකර ඇති බවත්, ඔවුන්ගේ පවුල්වල නඩත්තුව සදහා අවශ්‍ය මුදල් ආධාරද ධීවර අමාත්‍යවරයා ලෙස තමන්ට හැකි පමණින් සළසා තිබෙන බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
මොවුන් මුදාගැනීම සදහා කැබිනට් මණ්ඩලයේදීද කිහිපවතාවක්ම සාකච්ඡාකළ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම අනුව සියලු උපදෙස් විදේශ කටයුතු අමාත්‍යංශයට ලබා දී ඇති බවද, එම ධීවර බෝට්ටුවේ සිටි ධීවරයින්ගේ පවුල්වල සාමාජිකයින් 2024.05.06 දින ධීවර අමාත්‍යංශයේ හමුවු අවස්ථාවේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කළේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, මෙම ධීවරයින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ප්‍රමාද වීම ගැන තමන් අතිශය කණගාටුව ප්‍රකාශකරන බවත්, මෙවැනි සිද්ධීයක් ශ්‍රී ලංකාවේ පළමු වරට සිදු වී ඇති නිසා, සීෂෙල්ස් රටේ නිලධාරින්ට සහ අපේ රටේ නිලධාරින්ට මෙම ධීවරයින් ශ්‍රී ලංකාවට එවීම පිළිබදව නීතිමය ගැටළු නිරාකරණය කිරීමට කාලයක් ගතවු බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඒ පිළිබදව රජය වෙනුවෙන් තමන් සමාව ඉල්ලන බවද ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම සතිය තුළ එම ධීවරයින් ආපසු ගෙන්වා ගැනීමට හැකි වන බව තමාගේ අදහස බව පෙන්වාදුන් අමාත්‍යවරයා එතෙක් ඉවසිල්ලෙන් කටයුතු කළ යුතු බවද මෙම පවුල් වල සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් නයනා කුමාරි සෝමරත්න මෙනවිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.