ජාතික ධීවර මහා සම්මේලනයේ විසින් සංවිධානය කර 2024.08.09 වන දින පැවති ජාතික ධීවර සමුළුවේදී ධීවරයන් විසින් ජනාධිපතිතුමන්ගෙන් කල ඉල්ලීම් අතර ප්‍රධාන වුයේ ධීවරයන්ට අවශ්‍ය ඉන්ධන සදහා සහනයක් ලබා දෙන ලෙසයි.
එම ඉල්ලීම මල්ඵල ගන්වමින් අද දින (2024.08.21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ධීවර ජනතාව දිරිගැන්වීම හා ඔවුන්ගේ ජීවනෝපාය ශක්තිමත් කිරීම උදෙසා ඉන්ධන සහනයක් ලෙස ඩීසල් මිළ රුපියල් 25කින්ද, භූමිතෙල් මිල රුපියල් 25කින්ද අඩු කිරීමට තීරණය කර ඇත.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ඉන්ධන සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම ඉන්ධන මිල අඩු කිරීම සිදුකර ඇත. තවද ඉදිරියේදී තවදුරටත් ධීවර ජනතාවගේ ඉල්ලීම් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව එතුමා වැඩිදුරටත් පැවසීය.
මේ අනුව පොහොර සහනාධාර හේතුකොට ගෙන කෘෂිකාර්මික අස්වැන්න වැඩිවුවා සේ ඉන්ධන මිළ අඩු කිරීම මගින් නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න වැඩි කිරීම මගින් ධීවරයන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමටද හැකියාව ලැබෙන බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ධීවර ජනතාවට මෙම ඉන්ධන සහනය ලබා දීමට අවශ්‍ය විධි විධාන ක්‍රියාත්මක කරන ලෙස අදාල අංශ වලට කැබිනට් ලේකම්වරයා විසින් උපදෙස් ලබා දෙනු ඇත.