මුහුදු මාර්ගයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සහ ජලජ ජීවී වගාව ඇතුළු ධිවර ක්ෂේත්‍රයේ සංවර්ධනය පිලිබඳ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ඇමරිකානු තානාපති ජූලි චංග් මහත්මිය අතර සාකච්ඡාවක් ඊයේ (22) දින කොළඹ දී පැවැත්විණ.
එහිදී ශ්‍රී ලංකාවේ ධීවර අංශය ශක්තිමත් කිරීම සහ එහි ඇති මූලික අභියෝග පිළිබඳව අවධානය යොමු වූ අතර ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය වෙත ඇමරිකානු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ආයෝජක සැසි සංවිධානය කිරීම සඳහා සහයෝගය ලබා දෙන බව ජූලි චංග් මහත්මිය සඳහන් කළාය.
එමගින් නව ආර්ථික අවස්ථා උදා කර ගැනීම ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා වැදගත් බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේය.
මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම සහ සාගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකාය ශක්තිමත් කිරීමත්, නාවුක තාක්ෂණය යාවත්කාලීන කිරීම හා ඒ සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීමේ කඩිනම් අවශ්‍යතාව පිළිබඳවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන් අතර ඒ සඳහා ඇමරිකාවේ සහයෝගය ලබා දීමට ඇමරිකානු තානාපතිවරිය කැමැත්ත පළ කළාය.
ශ්‍රී ලංකාවේ ජලජ ජීවී වගාව ආශ්‍රිත කටයුතු වැඩිදියුණු කිරීම සහ එම ක්ෂේත්‍රයේ තිරසර වර්ධනයට හේතු වන ඉහළ මට්ටමේ ජලජ ජීවී වගා තාක්‍ෂණය හා ක්‍රමවේද රටට හඳුන්වා දීමට තාක්ෂණික සහාය ලබා දෙන ලෙස අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා මෙහිදී ඉල්ලා සිටියේය. ඒ පිළිබඳව සිය අවධානය යොමු කළ තානාපති ජුලි චංග් මහත්මිය, විශේෂඥ දැනුම ලබා දීම පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය කටයුතු කරන බව ප්‍රකාශ කළාය.
මත්ස්‍ය තොග සංරක්ෂණය, අපද්‍රව්‍ය අවම කිරීම, සැපයුම් දාමයේ සමස්ත කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ශීතාගාර පහසුකම් ස්ථාපිත කිරීම ඇතුළු යටිතල පහසුකම් සඳහා ඇමරිකානු සහාය ලබා දෙන ලෙස අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ඇමරිකානු තානාපතිවරියගෙන් ඉලලීමක් කළේය.
මෙහෙයුම් ධාරිතාව වැඩිදියුණු කිරීම, ශ්‍රී ලංකාවේ අපනයන හැකියාව ඉහළ නැංවීම, ධීවර වරායන් නවීකරණය කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
ධීවර අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.