WhatsApp Image 2025 02 14 at 17.22.57යුරෝපීය කොමිසමෙහි සමුද්‍රීය කටයුතු සහ ධීවර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලෙහි (DG MARE) හි නියෝජිත දූත පිරිසක් සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක් 2025 පෙබරවාරි මස 13 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු විය.

නීති විරෝධී, වාර්තා නොවූ සහ නියාමනය නොකළ (IUU) ධීවර පිළිවෙත් අනුගමනය කිරීමේදී සහ ධීවර අංශය තුළ නියාමන අනුකූලතාව වැඩි දියුණු කිරිම පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා වලදී අවධානය යොමු විය.

යුරෝපා සංගම් සාමාජික රටවල් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනයේ විශාලතම ආනයනකරුවන් ලෙස පවතින බැවින්, යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ අඛණ්ඩව කටයුතු කරන බව මෙම සංචාරය මගින් පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකාවේ ධීවර කළමනාකරණ පිළිවෙත් සමාලෝචනය කිරීම සඳහා සමුද්‍රීය කටයුතු සහ ධීවර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලෙහි (DG MARE) නිලධාරීන් සතියක කාලයක් ශ්‍රී ලංකාවේ ධීවර දෙපාර්තමේන්තුව සහ ධීවර අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරමින් සිටී. ඔවුන්ගේ සංචාරය තිරසාර ධීවර පාලනය පිළිබඳ යුරෝපා සංගමයේ මාර්ග සිතියමට ශ්‍රී ලංකාව අනුකූලද යන්න තක්සේරු කිරීම සහ 2026 දී ක්‍රියාත්මක වන නව ඩිජිටල් catch certificate ක්‍රමය හඳුන්වා දීම යන මූලික අරමුණු දෙක ඉටු කරයි.

2015 දී පනවන ලද ශ්‍රී ලංකා මත්ස්‍ය අපනයනය සඳහා වූ තහනම ඉවත් කිරීමේ අංගයක් ලෙස, නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU) මසුන් ඇල්ලීම මැඩපැවැත්වීම සඳහා පියවර මාලාවක් ගෙනහැර දක්වමින් යුරෝපා සංගමය (EU) ධීවර අමාත්‍යාංශයට මාර්ග සිතියමක් ලබා දෙන ලදී. ගෝලීය ධීවර කළමනාකරණ ප්‍රමිතීන්ට රට අඛණ්ඩව අනුගත වීම සහතික කරමින්, මෙම පියවර ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව කමිටුව පුළුල් සමාලෝචනයක් පවත්වයි. 

රැස්වීම අතරතුර, තිරසාර ධීවර කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයේ ස්ථිර කැපවීම අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් අවධාරණය කළ අතර නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ (IUU ) එරෙහිව ගෙන ඇති ප්‍රධාන පියවරයන් ද පෙන්වා දුන්නේය.

දිගු කලක් ප්‍රමාද වූ නව ධීවර පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර මේ වන විට ඒ සම්බන්ධයෙන්  ඉදිරි පියවර සිදුවෙමින් පවතින බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. නීති විරෝධී මසුන් ඇල්ලීම අධෛර්යමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවත්, ධීවර දෙපාර්තමේන්තුවට මූල්‍ය, මානව සහ තාක්ෂණික සම්පත් ක්‍රමානුකූලව ලබාදෙමින් ධීවර ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් සිටින අතරම නීතිවිරෝධී මසුන් ඇල්ලීම වැළැක්වීමටද අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍යවරයා දැනුම් දුන්නේය.  දැනට ක්‍රියාත්මක නියාමන ප්‍රතිසංස්කරණ සහ ධාරිතා ගොඩනැගීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා අමාත්‍යවරයා යුරෝපා සංගමයෙන් තාක්ෂණික සහාය ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයට  වෙළඳපොළ ප්‍රවේශය, තාක්ෂණික විශේෂඥතාව සහ මූල්‍ය ආධාර ලබා දීම සඳහා යුරෝපා සංගමය අඛණ්ඩව දක්වන සහයෝගය පිළිබඳව අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේය. තිරසාර ධීවර පිළිවෙත් ප්‍රවර්ධනය කරමින් මත්ස්‍ය අපනයනවල වර්ධනයක් සහතික කරමින් යුරෝපා සංගමය සමඟ හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ඔහු නැවත අවධාරණය කළේය. වෙළඳපල අවස්ථා පුළුල් කිරීම සහ ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා යුරෝපා සංගමයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්මෙන් මොරේනෝ (Carmen Moreno), DG MARE අංශයේ අධ්‍යක්ෂ ෆර්නාන්ඩෝ ඇන්ඩ්‍රසෙන් ගිනාරේස් (Fernando Andreson Guinares) DG MARE අංශයේ ප්‍රධානී  රොබර්ටෝ සෙසාරි (Roberto Sesari),ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්යාලයේ දේශපාලන, මාධ්‍ය සහ තොරතුරු අංශයේ ප්‍රධානී ලාර්ස් බ්‍ර්ඩල් (Lars Bredel), ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා සහ ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ද සහභාගී වූහ.

WhatsApp Image 2025 02 14 at 17.22.58

WhatsApp Image 2025 02 14 at 17.22.58 1

WhatsApp Image 2025 02 14 at 17.22.59

WhatsApp Image 2025 02 14 at 17.22.59 1

Youtube