ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරුන් සහ මධ්‍යම රජයේ ධීවර අමාත්‍යංශයේ ආයතන ප්‍රධානීන් හා අමාත්‍යාංශ ලේකම්ගේ සහභාගිත්වයෙන් ධිවර අමත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය (28) දා පැවැති සාකච්ඡාවේදී පහත කරුණු අවධානයට ලක් විය.
මෙම හමුවේදී, ධීවර අමාත්‍යංශය සහ පළාත් ධීවර අමාත්‍යාංශ එක්ව සහයෝගීව, ඵලදායී ලෙස ධීවර කර්මාන්තය නංවාලීම සඳහා පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
තවද, මධ්‍යම රජයේ ධීවර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් පළාත් මට්ටමින් ධීවර කර්මාන්තය නංවාලීම සඳහා ලබා දිය හැකි සේවාවන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
ධීවර අමාත්‍යාංශය නව වැඩපිළිවෙලක් යටතේ ඉදිරියට යන බවත්, පළාත් සභා සමඟ ඒකාබද්ධ සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කළේය.
මධ්‍යම රජය හා පළාත් සභාව ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් වැඩපිළිවෙළ දෙකක් ක්‍රියාත්මක කිරීම නිසා පසුගිය කාලයේ රටේ විශාල මුදලක් නාස්තිවී ඇති බව පෙන්වා දුන් ධිවර අමාත්‍යවරයා මධ්‍යම රජය හා පළාත් සභා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් ධීවර කර්මාන්තයට විශාල දියුණුවක් ළඟා කර ගත හැකි බවද කියා සිටියේය. රටක් දියුණුවීමට තනි තනිව කළ හැකි දෙයක් නොමැති බවත් පුද්ගල හා ආයතන මට්ටමින් එකතුවිම මඟින් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඇති කළ හැකි බවත් රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා කියා සිටියේ, පසුගිය වසරවලට සාපේක්ෂව 2025 රාජ්‍ය අයවැයෙන් ධීවර අමාත්‍යාංශය සඳහා වෙන් කළ මුදල් 62.85% කින් වැඩි කර ඇති බවය.
මධ්‍යම රජය සහ පළාත් සභා ඒකාබද්ධව වැඩ කිරීම මෙන්ම ධීවර කර්මාන්තය නංවාලීම සඳහා මධ්‍යම රජයේ ධීවර අමාත්‍යාංශය සහ පළාත් සභා ධීවර අමාත්‍යාංශ ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, ධීවර සංස්ථාව, නාරා ආයතනය, NAQDA ආයතනය, Cey-Nor සහ NorthSea ආයතනය වැනි ආයතන පළාත් සභා මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහන් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට කැපවී සිටින බව ද නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.
අමාත්‍යාංශය යටතේ පවතින නාරා සහ NAQDA වැනි ආයතන මගින් පර්යේෂණ හා තාක්ෂණික උපදේශන සේවා සැපයීමට සූදානම් බව දන්වා සිටියේය. Cey-Nor සහ NorthSea ආයතන මගින් ධීවර උපකරණ නිෂ්පාදනය කර බෙදා හැරීම පළාත් සභා සමඟ සම්බන්ධීකරණය කර සිදු කිරීමෙන් කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකි බවට ප්‍රකාශ කරන ලදී.
ධීවර අමාත්‍යාංශ යටතේ තිබෙන ආයතන ප්‍රධානීන් සහ පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු නිලධාරීන් මෙම සාකච්ඡාවට එක් වූහ.