en banner

WhatsApp Image 2026 05 19 at 19.06.57මෙරට විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන හා අපනයන ක්ෂේත්‍රයේ පවතින ගැටලු නිරාකරණය කරමින් එම කර්මාන්තය දියුණු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පැමිණි ප්‍රධාන පෙළේ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින් සහ අපනයනකරුවන් පිරිසක් මෙම හමුවට එක්වූහ. මෙහිදී ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) හරහා ක්‍රියාත්මක කරන ක්‍රියාකාරී සැලැස්මේ ඉදිරි පියවර කඩිනම් කිරීමට තීරණය විය.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ මීට පෙර පැවති සීමා පැනවීම් හේතුවෙන් කර්මාන්තය තුළ සිදුවූ කඩා වැටීම් වැළැක්වීම සඳහා විනිවිදභාවයෙන් යුතු නව ආනයන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව, ව්‍යාපාරික අවශ්‍යතාව මත පදනම්ව, නීත්‍යානුකූලව මත්ස්‍ය වර්ග ආනයනය කිරීමට කර්මාන්තකරුවන්ට අවස්ථාව සැලසේ. එසේම, මෙරටට ආනයනය කිරීමට අවසර නොමැති මත්ස්‍ය වර්ග සම්බන්ධයෙන් වන ලැයිස්තු සංශෝධනය කිරීමේදී විද්වත් කමිටුවක් හමුවේ සිය කරුණු ඉදිරිපත් කිරීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන්ම ‘Ditwah’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් කුඩා පරිමාණ විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින්ට සහන සැලසීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. ඒ අනුව, සිදුවූ අලාභහානි සලකා බලා රුපියල් 75,000 සහ රුපියල් 50,000 බැගින් වූ මූල්‍ය ආධාර කඩිනමින් පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. මත්ස්‍ය ආහාර මිලදී ගැනීමට පවා අපහසුව සිටින වගාකරුවන් හට මෙය මහඟු අස්වැසිල්ලක් වනු ඇත.

මෙම කර්මාන්තය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් ගැටලු විසඳීම සඳහා සෑම මාස දෙක තුනකට වරක් කර්මාන්තකරුවන් සමඟ සෘජුව සාකච්ඡා කිරීමටද මෙහිදී එකඟතාව පළ විය. මෙම අවස්ථාවට NAQDA ආයතනයේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා, නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් එච්.එස්. හතුරසිංහ මහතා සහ සම්බන්ධීකරණ ලේකම් ඩබ්ලිව්. ඒ. ජේ. මල්කුමාරි මහත්මියඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2026 05 19 at 19.07.02 1

WhatsApp Image 2026 05 19 at 19.07.02

WhatsApp Image 2026 05 19 at 19.07.01

WhatsApp Image 2026 05 19 at 19.06.57 1

 

Youtube