en banner

fishing boat 1පසුගිය අගෝස්තු මස 31 වන දින මාතර, දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය IMUL-A-0066-MTR දරණ බහුදින ධීවර යාත්‍රාව, මාලදිවයින ආසන්න ජාත්‍යන්තර මුහුදේදී පෙරළී අනතුරට ලක්ව ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අද (29) දින නිවේදනය කළේය.

අනතුරට පත් යාත්‍රාව දියවැල් ඔස්සේ ඉන්දුනීසියානු මුහුදු සීමාව දක්වා ගසාගෙන ගොස් ඇති අතර, එහිදී යාත්‍රාවේ රැඳී සිටි ධීවරයින් හතර දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇත.

ධීවරයින් හය දෙනෙකුගෙන් සමන්විත මෙම යාත්‍රාව, ඔක්තෝබර් 16 වන දින අනතුරට ලක්ව ඇති අතර, ඉන් එක් ධීවරයෙකු අතුරුදන් වී ඇත. යාත්‍රාවේ බඳ මත රැඳී සිටි පස් දෙනාගෙන් තවත් අයෙකු පසුව මියගොස් ඇති බවට වාර්තා වේ.

ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක් විසින් පෙරළුණු යාත්‍රාව මත සිටි ධීවරයින් හතර දෙනා බේරාගෙන ඇති අතර, එම පිරිස විසින් ශ්‍රී ලංකා බලධාරීන් දැනුවත් කර ඇත. මේ වන විට එම ධීවරයින්, ආසන්නයේ තිබූ වෙළෙඳ නෞකාවක් වෙත නිරුපද්‍රිතව මාරු කර යැවීමට කටයුතු කරමින් සිටී.

මේ පිළිබඳව අදහස් දැක්වූ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, සුසන්ත කහවත්ත මහතා, "බේරාගත් ධීවරයින් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකාවක් මේ වන විටත් පිටත්ව ගොස් තිබෙනවා. හම්බන්තොට වරායේ සිට නාවික සැතපුම් 300ක් පමණ දුරින් මෙම ස්ථානය පිහිටා ඇති නිසා, ගමනට යම් කාලයක් ගතවනු ඇත. නමුත්, හැකි ඉක්මනින් මෙම ධීවරයින් පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා," යනුවෙන් පැවසීය.

බේරාගත් ධීවරයින්:

H.K.A.D. Lakmal      

W.B.O. Madhushanka       

P.M.S.A. Kumara

T.H.P. Nimanka       

අතුරුදන්/මියගිය බවට සැකකෙරෙන ධීවරයින්:

E.D.R. Navodana

L.H.D.A. Suranga

අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සම්බන්ධීකරණය කරමින්, බේරාගත් ධීවරයින් හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.

Youtube