en banner

WhatsApp Image 2026 02 04 at 21.10.22ජාත්‍යන්තර මුහුදු සීමාවේදී නාඳුනන පිරිසකගේ අමානුෂික ප්‍රහාරයට ලක්ව, තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින ධීවරයින්ගේ සුවදුක් විමසා බැලීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අද (04) දින කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය.

මෙම අමානුෂික ප්‍රහාරයට ලක්ව ඇත්තේ "සඳුන් පුතා 04" (IMUL-A 0852 CHW) බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සිව්දෙනෙකි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැදිහත්වීමෙන් අද උදෑසන ගොඩබිමට රැගෙන ආ මෙම ධීවරයින් වහාම කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරන ලදී.

රෝහලේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය:
"මේ ධීවරයින්ට පහර දී තිබෙන ආකාරය ඉතාමත් මිලේච්ඡයි. ඔවුන් පවසන පරිදි මෙය ඉන්දියානු පිරිසක් විසින් සිදුකළ බවට චෝදනා එල්ල වෙනවා. කෙසේ වෙතත්, ඉන්දීය රජය දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ට මේ සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. එබැවින්, ඉන්දීය නම, ධජය හෝ භාෂාව භාවිත කරමින් වෙනත් කණ්ඩායමක් මෙම අපරාධය සිදු කළේ නම්, එය ඉන්දියාවටත් අපකීර්තියක් වන අතරම අපේ ධීවර ප්‍රජාවටත් දැඩි තර්ජනයක්."

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුතු පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඉල්ලීමක් කර ඇත. ශ්‍රී ලංකා පොලීසිය සහ නාවික හමුදාව මේ වන විටත් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

"අපි ධීවර අමාත්‍යාංශය ලෙස ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා. විපතට පත් ධීවරයින්ට අවශ්‍ය සියලු සහන සහ උපකාර ලබා දීමට අපි කටයුතු කරනවා," යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මීට පෙර, "දිනිති දුව 01" සහ "දිනිති දුව 03" යාත්‍රාවල සිටි ප්‍රහාරයට ලක් වූ තවත් ධීවරයින් පිරිසක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබූ අතර, ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පසුගිය 31 වන දින එම රෝහලට ගොස් ඔවුන්ගේ සුවදුක් විමසා බැලීය.

WhatsApp Image 2026 02 04 at 21.10.23

WhatsApp Image 2026 02 04 at 21.10.23 1

Youtube