en banner

image 347e0e4b2eවත්මන් ගෝලීය යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් දැඩි පීඩාවකට පත්ව ඇති බවත්, එලෙස පීඩාවට පත් ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය සහන සැලසීම රජයේ වගකීම බවත් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රකාශ කළේය.

මෙම අරමුණ පෙරදැරිව, ධීවර කර්මාන්තයේ නියැලෙන ජනතාවගේ ආර්ථිකයේ ප්‍රධාන සාධකය වන ඉන්ධන පිරිවැය අවම කිරීම සඳහා ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ විශේෂ ඉන්ධන දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇත. පොදු දීමනාවන්ට අමතරව ධීවර ජනතාව ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන මෙම විශේෂ දීමනා වැඩසටහන අප්‍රේල් 20 වන දින සිට ක්‍රියාත්මක වනු ඇත.

**එක් දින ධීවර යාත්‍රා සඳහා ඉන්ධන දීමනාව:**

* ධීවර දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව මෙරට ක්‍රියාත්මක වන එක් දින ධීවර යාත්‍රා 37,500ක් සඳහා මෙම දීමනාව හිමි වේ.

* මෙම සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටු සඳහා පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල් යන කවර ඉන්ධනයක් භාවිත කළ ද, දැනට පවතින රුපියල් 100ක අඩුවීමට අමතරව තවත් රුපියල් 50ක විශේෂ දීමනාවක් ලීටරයක් සඳහා ලබා දෙනු ඇත.

* ඒ අනුව එක් දින ධීවර යාත්‍රාවක් වෙනුවෙන් දිනකට උපරිම ලීටර් 25 බැගින්, මසකට දින 25ක් දක්වා (උපරිම ලීටර් 625ක් වෙනුවෙන්) ලීටරයකට රු. 50 බැගින් වූ දීමනාවක් හිමි වේ.

* සාමාන්‍ය බෝට්ටු හිමියෙකුට මසකට රුපියල් 31,250ක දීමනාවක් මාස 3ක කාලයක් සඳහා හිමි වේ. එම මුදල හිමිකරු විසින් තහවුරු කරන ලද බැංකු ගිණුමට සෘජුවම තැන්පත් කෙරේ.

**බහු දින ධීවර යාත්‍රා සඳහා දීමනාව:**

*ධීවර දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති බහු දින ධීවර යාත්‍රා 5,500ක් සඳහා මෙම දීමනාව හිමි වේ.

* මෙම මාස 03ක කාල සීමාව වෙනුවෙන්, බහුදින ධීවර යාත්‍රා සඳහා රුපියල් 150,000ක දීමනාවක් එක්වරක් පමණක් ලබා දීමට රජය තීරණය කර ඇත.

* මෙම දීමනාව ලබා ගැනීම සඳහා දියඹට පිටව යාමේදී ධීවර දෙපාර්තමේන්තුව මඟින් හඳුන්වා දී ඇති පිටවීමේ පත්‍රිකාව (Departure Form) සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.

මෙම විශේෂ දීමනා වැඩසටහන හරහා ධීවර කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින්, පීඩාවට පත් ධීවර ප්‍රජාවගේ ආර්ථික බර සැහැල්ලු කර ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම රජයේ අපේක්ෂාවයි.

Youtube