ලෝකය ගොඩනැඟූ නිර්ධන පංතියේ දහඩිය සහ කැපකිරීම්වලට නිසි වටිනාකමක් ලබා දෙමින්, කම්කරු සුභසාධනය හුදු වචනවලට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට ජාතික ජන බලවේගය කැපවී සිටින බව ජාතික ජන බල පක්ෂයේ ජාතික විධායක කමිටු සමාජීක හා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.
මෙවර ලෝක කම්කරු දිනය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, පීඩිත ජනතාවගේ ජීවිතවල සැබෑ වෙනසක් ඇති කිරීම සඳහා රජය දැනටමත් විධිමත් පියවර රැසක් ගෙන ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන ශක්තියක් වන උඩරට වතු කම්කරු ප්‍රජාව දශක ගණනාවක් තිස්සේ නොසලකා හැර තිබූ බවත්, ඔවුන් සඳහා ලබා දුන් ඓතිහාසික වැටුප් වැඩිවීම එම ජනතාවට යුක්තිය ඉටු කිරීමේ ආරම්භක පියවරක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පරම්පරා ගණනාවක් තිස්සේ පීඩාවට පත්ව සිටි වතු ජනතාවගේ හඬට වත්මන් රජය සවන් දී ඇති අතර, ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයේ මූලික කැපවීමක් බව ද ඔහු සඳහන් කළේය.
රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම පිරිස වන විදෙස් ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ පවුල්වල අනාගතය සහතික කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇත. එමෙන්ම, මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය, රැකියා සුරක්ෂිතභාවය සහ සමාජ සුභසාධනය නැංවීම වෙනුවෙන් නව සැලසුම් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව අමාත්‍යවරයා සිය පණිවුඩයෙන් සිහිපත් කරයි.
මෙවර මැයි දිනය හුදෙක් උත්සවයකට සීමා නොකර පීඩිත ජනතාවගේ හඬ මතු කරන වේදිකාවක් බවට පත් කිරීමට ජාතික ජන බලවේගය පියවර ගෙන ඇත. ඒ අනුව දිවයින පුරා ස්ථාන 21 කදී මැයි දින රැස්වීම් සංවිධානය කර ඇති අතර, යාපනය සහ වන්නි කලාපයේ පැවැත්වෙන රැස්වීම් ඓතිහාසික වැදගත්කමක් දරන බව ද අමාත්‍යවරයා පැවසීය.
අතීතයේදී කම්කරු අයිතිවාසිකම් ඉල්ලා සටන් කළ ජනතාවට වෙඩි උණ්ඩ, බැටන් පොලු සහ කඳුළු ගෑස් මඟින් මර්දනය කළ පිරිස් අද කම්කරු සුභසාධනය ගැන කතා කිරීම හාස්‍යයට කරුණක් බව රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි. එදා මර්දකයන් ලෙස කටයුතු කළ අය අද ව්‍යාජ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටීමට දරන උත්සාහය පිළිබඳව ජනතාව අවධානයෙන් සිටිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
සියලු දේශපාලන භේදයන්ගෙන් තොරව වැඩ කරන ජනතාවගේ සැබෑ විමුක්තිය උදෙසා එක්වන ලෙස ඉල්ලා සිටින අමාත්‍යවරයා, "වැඩ කරන ජනතාවගේ දෑත් ශක්තිමත් වේවා! කම්කරු අයිතීන් දිනේවා!" යනුවෙන් සියලු නිර්ධන පංතිය වෙත සිය සුභ පැතුම් එක් කර සිටියි.





