ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ නෝර්වේ තානාපති කාර්යාලයේ නියෝජිතයින් අතර විශේෂ නිල හමුවක් අද (18) පෙරවරුවේ ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි. අමාත්‍යවරයාගේ මෑතකාලීන නෝර්වේ නිල සංචාරයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ දෙරට අතර ධීවර සහයෝගීතාව නව මාවතකට යොමු කිරීම මෙහි මූලික අරමුණ විය.
මෙම අවස්ථාවට නෝර්වේ තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ටෝමෝඩ් නූලන්ඩ් (Mr. Tormod Nuland) මහතා සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ ගෞරවනීය කොන්සල් ජනරාල් මනෝ සේකරම් (Mr. Mano Sekaram) මහතා සහභාගී වූහ. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා ද මෙම සාකච්ඡාවට එක්විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 1971 වසරේ සිට සීනෝර් (Cey-Nor) පදනම හරහා පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කළ අතර, දැනට වෙන් ව පවතින සීනෝර් සහ නෝර්ත් සී (North-Sea) යන රාජ්‍ය ආයතන දෙක ඒකාබද්ධ කර නවීන තාක්ෂණය යටතේ ප්‍රතිසංවිධානය කිරීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රකාශ කළේය. එමගින් යාපනය, ලුනුවිල සහ වීරවිල යන ප්‍රදේශවල පවතින දැල් නිෂ්පාදන මධ්‍යස්ථාන උසස් ප්‍රමිතියෙන් යුත් නවීන පහසුකම් සහිත ආයතන බවට පත් කිරීමට අපේක්ෂිතය.
ධීවර ක්ෂේත්‍රයේ පවතින ඉන්ධන පිරිවැය අවම කිරීම සඳහා බැටරි බලශක්තිය සහ Hydrogen Cells වැනි හරිත බලශක්ති තාක්ෂණය හඳුන්වා දීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ පවතින යුරෝපා සංගමයේ (EU) අනුමැතිය ලත් මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන 44ක් උපයෝගී කරගනිමින් නෝර්වේ සමාගම් සමඟ ඒකාබද්ධ ව්‍යාපාර (Joint Ventures) ආරම්භ කිරීමේ ඇති හැකියාව පිළිබඳව අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.
මීට අමතරව, නාරා (NARA) ආයතනය සමඟ ක්‍රියාත්මක පර්යේෂණ ව්‍යාපෘති තවදුරටත් දීර්ඝ කිරීමටත්, නෝර්වේ රාජ්‍යයේ පවතින "ආපදා සූදානම් වීමේ සැලසුම්" (Preparedness Plan) මෙරටට හඳුන්වා දීමටත් මෙහිදී එකඟතාව පළ විය. මෙරට ධීවර ක්ෂේත්‍රයේ පවතින ආයෝජන විභවතාවන් අධ්‍යයනය කිරීම සඳහා නෝර්වේ ව්‍යාපාරික කණ්ඩායමකට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ඇරයුම් කළේය.







