අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා FAO ධීවර හා ජලජීවී වගා සංවර්ධන හවුල්කරුවන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ දෙවන කාර්තුමය රැස්වීම අමතයි!
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, අද දින (ජුනි 11) එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් සංවිධානය කරන ලද ධීවර හා ජලජීවී වගා සංවර්ධන හවුල්කරුවන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ (Development Partners Working Group on Fisheries and Aquaculture) දෙවන කාර්තුමය රැස්වීම අමතා කතා කළේය. මෙම සමුළුවට විවිධ සංවර්ධන හවුල්කරුවන්, තානාපති කාර්යාල නියෝජිතයන් සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ කාර්යාලය (UNODC), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හා ජයිකා (JICA) වැනි ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
අමාත්‍යවරයා අවධාරණය කළේ ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවට හුදු ආර්ථික අංශයක් නොව ජීවනාලියක් බවයි. එය දළ දේශීය නිෂ්පාදිතයට 1.2% ක දායකත්වයක් සපයන අතර, රටේ සත්ව ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් 50% කට අධික ප්‍රමාණයක් සපුරාලයි. තවද, ශ්‍රම බලකායෙන් 3.7% කට ආසන්න පිරිසකට රැකියා සපයන අතර, වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 300 කට අධික විදේශ විනිමයක් උපයයි. මෙම ක්ෂේත්‍රය විශේෂයෙන්ම වෙරළබඩ ප්‍රජාවගේ ජීවිතවලට සෘජුවම බලපාන බව අමාත්‍යවරයා පැවසීය.
ප්‍රධාන ඉදිරිපත් කිරීම්
අමාත්‍යාංශය වෙනුවෙන් අතිරේක ලේකම් (ධීවර සම්පත් කළමනාකරණ) ධම්මික රණතුංග මහතා විසින් රජයේ ප්‍රතිපත්ති, ධීවර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතා, හඳුනාගත් අභියෝග හා ඒවාට යෝජිත විසඳුම් පිළිබඳව පුළුල් ඉදිරිපත් කිරීමක් සිදු කළේය.
ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ඔවුන්ගේ "REEF" වැඩසටහන යටතේ සිදු කරන ක්‍රියාකාරකම් ඉදිරිපත් කළ අතර, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් උතුරු පළාතේ මුහුදු පැලෑටි (seaweed) හා තිලාපියා (tilapia) වගා ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවට සඳහන් කරන ලදී.
සංවර්ධන හවුල්කරුවන්ගෙන් ඉල්ලීමක්
මෙම අභියෝග ජයගත නොහැකි ඒවා නොවන බවත්, ශක්තිමත් හවුල්කාරිත්වයන් තුළින් ඒවාට මුහුණ දිය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ලබා දුන් අඛණ්ඩ සහයෝගයට අමාත්‍යවරයා ප්‍රසාදය පළ කළේය.
ශ්‍රී ලංකාවේ ධීවර සංවර්ධන ප්‍රමුඛතාවන්ට වැඩි හා හදිසි අවධානයක් යොමු කරන ලෙසත්, අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා සහයෝගය ලබා දීමට කැමති ඕනෑම පාර්ශ්වයකට අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන ලෙසත් අමාත්‍යවරයා සියලුම සංවර්ධන හවුල්කරුවන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියේය.
ප්‍රමුඛතා අංශ:
* ජලජීවී වගාව ශක්තිමත් කිරීම: නව තාක්ෂණයන්, වැඩිදියුණු කළ පැටවුන් හා දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන විශේෂ සමඟ.
* ධීවර යාත්‍රා හා ශීත දාම යටිතල පහසුකම් නවීකරණය කිරීම: අලාභ අවම කිරීමට හා ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමට.
* වෙරළබඩ ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම: පෝෂණයට සංවේදී වැඩසටහන්, සෞඛ්‍ය සේවා ප්‍රවේශය හා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ආශ්‍රිත සංවර්ධනය තුළින්.
* කලාපීය සම්බන්ධීකරණ යාන්ත්‍රණ සඳහා සහාය වීම: දේශසීමා ඉක්මවා යන ධීවර අභියෝගවලට විසඳුම් ලබා දීමට.
අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ
අමාත්‍යාංශය ප්‍රධාන ප්‍රතිසංස්කරණ රැසක් සිදු කරමින් සිටී. නව ජාතික ධීවර හා ජලජීවී වගා ප්‍රතිපත්තියක් අවසන් කරමින් සිටින අතර, සංශෝධිත ධීවර හා ජලජ සම්පත් පනතක් සකස් කරමින් සිටී. අස්වනු නෙලීමෙන් පසු සිදුවන පාඩු අවම කිරීම, අපනයන තරඟකාරීත්වය වැඩි දියුණු කිරීම හා අගය එකතු කිරීමේ ක්‍රියාවලීන් පුළුල් කිරීම ද රජයේ අරමුණු අතර වේ. ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම හා කිසිදු ධීවර ප්‍රජාවක් අත් නොහැරීම ද ප්‍රමුඛතාවයකි.
අමාත්‍යවරයා අවසන් වශයෙන් පැවසුවේ මෙම අරමුණු සාක්ෂාත් කරගත හැක්කේ තාක්ෂණික මඟපෙන්වීම, මූල්‍ය සහයෝගය හා රාජ්‍ය තාන්ත්‍රික සහයෝගය තුළින් බවයි. ඉදිරි පරම්පරාව සඳහා සාගරය සුරක්ෂිත කිරීමට, ධීවරයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ඔරොත්තු දෙන, සියල්ලන්ම ඇතුළත්, තිරසර නිල් ආර්ථිකයක් ගොඩනැගීමට එක්ව කටයුතු කරන ලෙස අමාත්‍යවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් කෘෂිකර්ම හා ධීවර ක්ෂේත්‍රයන් දෙකම ආවරණය වන පරිදි එක්ව සැකසෙන ඉදිරි ක්‍රියාකාරී සැලැස්මක් (Action Plan) 2025 අගෝස්තු මාසය වන විට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව මෙම රැස්වීමේදී සඳහන් විය.
මෙම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, අතිරේක ලේකම් (ධීවර සම්පත් කළමනාකරණ) ධම්මික රණතුංග මහතා, අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් හා නිලධාරීන් සහභාගී වූහ.