ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජුනි 18 වන දින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි. මෙම වැදගත් රැස්වීමේදී පුත්තලම සහ මහවැව යන ධීවර දිස්ත්‍රික්කවල ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනි විජේසිංහ මහත්මිය සහ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී ගයාන් ජානක කුමාර මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ. ඊට අමතරව, පුත්තලම දිස්ත්‍රික් මහ දිසාපතිතුමන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, වනජීවී දෙපාර්තමේන්තුව, පාරිසරික සංවිධාන සහ විශාල ධීවර සංවිධාන සංඛ්‍යාවක නියෝජිතයින් සහ ධීවර අමාත්‍යාංශය යටතේ පවතින ධීවර වරාය නීතිගත සංස්ථාව, ධීවර සංස්ථාව, නාරා (NARA) ආයතනය සහ නැක්ඩා (NAQDA) ආයතනයේ නිලධාරීන් සහ සභාපතිවරුන් ද සහභාගී විය.
රැස්වීමේදී, කල්පිටිය, වෙල්ලමන්කරය සහ හලාවත යන ධීවර වරායන් ආශ්‍රිතව පවතින ගැටලු කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය.
* වෙල්ලමන්කර ධීවර වරාය: බහුදින යාත්‍රා නැංගුරම් දැමීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බව ධීවර ප්‍රජාව විසින් පෙන්වා දෙන ලදී. මෙයට විසඳුමක් ලෙස, නියෝජ්‍ය අමාත්‍යතුමා වෙල්ලමන්කර වරායේ පහසුකම් පුළුල් කිරීම සඳහා නව ජැටියක් ඉදිකිරීමට අදාළ ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර, අයවැය යෝජනාවක් ඉදිරිපත් කිරීමට එකඟ විය.
* හලාවත ධීවර වරාය: පිටතින් පැමිණෙන පුද්ගලයන් විසින් මාළු විකිණීම සහ ජැටියේ ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම පිළිබඳ ගැටලු මතු විය. තවද, මෝය කට වැසී තිබීම නිසා බෝට්ටු ගමනාගමනයට ඇති වන බාධා පිළිබඳවද සාකච්ඡා විය. නියෝජ්‍ය අමාත්‍යතුමා මැදිහත් වී ධීවර ජනතාවගේ මෙම ගැටලු විසඳීම සඳහා පියවර ගන්නා බවට පොරොන්දු විය. ජැටිය පුළුල් කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සහ මෝය කට පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එකඟ විය.
* කල්පිටිය ධීවර වරාය: 1982 දී ඉදිකරන ලද පැරණි ජැටිය දිරාපත් වී ඇති බවත්, එය වහාම පිළිසකර කිරීමේ අවශ්‍යතාවයත් මෙහිදී අවධාරණය විය. නියෝජ්‍ය අමාත්‍යතුමා මෙම ගැටලුව සම්බන්ධයෙන් අදාළ අධ්‍යයනයන් සිදුකර අවශ්‍ය කටයුතු සිදුකිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඊට අමතරව, වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා ස්ථිරසාර විසඳුම් සෙවීම සහ කකුළු හා ඉස්සන් වගාවට අදාළ ගැටලු, විශේෂයෙන් පැටවුන් හිඟය පිළිබඳවද සාකච්ඡා විය. නියෝජ්‍ය අමාත්‍යතුමා පෙන්වා දුන්නේ වෙරළ ඛාදනයට දීර්ඝකාලීන විසඳුම් සඳහා පූර්ව අධ්‍යයනයන් අවශ්‍ය බවයි. ඉස්සන් වගාවට අදාළව, ඩච් ඇළ අපවිත්‍ර වීම හා වැසී යාම හේතුවෙන් ඇති වන ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකර, ඉදිරි අයවැයෙන් මුදල් වෙන්කර එය පිරිසිදු කිරීමට කටයුතු කරන බවට නියෝජ්‍ය අමාත්‍යතුමා පොරොන්දු විය.
මෙම රැස්වීම ධීවර ප්‍රජාවගේ ගැටලු ඔවුන් සමීපයට ගොස් විසඳා ගැනීමේ ඉතා සාර්ථක ක්‍රමවේදයක් බවත්, ඊට සහභාගී වූ සියලු පාර්ශවයන් මෙම ප්‍රයත්නය අගය කළ බවත් නියෝජ්‍ය අමාත්‍යතුමා පැවසීය. මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සෑම මාස තුනකට වරක්ම පැවැත්වීමට එකඟතාව පළ විය.