en banner

WhatsApp Image 2025 06 30 at 17.44.30ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වර්ධනය කිරීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් නව වැඩසටහනක් හලාවත දිස්ත්‍රික්කයේදී ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, කුඩා ධීවර යාත්‍රා හිමියන් නියෝජනය කරන සමිතිවල සාමාජිකයින් සහ මත්ස්‍ය අපනයනකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙය සාර්ථක විය. වැඩසටහන මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ අපනයනය සඳහා ගුණාත්මක මසුන් ලබා ගැනීමයි. ඒ අනුව, අපනයන ධීවර කර්මාන්තයේ නියුතු කුඩා යාත්‍රා හිමියන් (එක්දින ධීවර යාත්‍රා හිමියන්) සහ මත්ස්‍ය අපනයනකරුවන් ඒකාබද්ධ කරනු ලැබේ. මෙහිදී, අපනයනය සඳහා ඉහළ ගුණාත්මක භාවයකින් යුත් මසුන් තෝරාගෙන යොමු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

වැඩසටහනේ ප්‍රධාන අරමුණු

මෙම වැඩසටහන මඟින් මත්ස්‍ය අපනයනකරුවන් සහ ධීවරයන් සෘජුව සම්බන්ධ කිරීම තුළින් අතරමැදියන්ගේ මැදිහත්වීමකින් තොරව ධීවර කාර්මිකයාට සිය මත්ස්‍ය සම්පත අපනයනකරුවන් වෙතම ඉහළ මිලකට අලෙවි කිරීමට අවස්ථාව සැලසේ. එමෙන්ම, අපනයනකරුවන් විසින් අපනයනයට සුදුසු මත්ස්‍ය වර්ග, අවශ්‍ය ප්‍රමාණයන් සහ බර පිළිබඳව ධීවරයන් සෘජුව දැනුවත් කරනු ලබයි. මේ තුළින් වර්ධනය නොවූ කුඩා මසුන් අල්ලා ගැනීම වැළකෙන අතර, එය ධීවර කර්මාන්තයේ අනාගත අභිවෘද්ධිය සඳහා ඉතා වැදගත් වනු ඇත. එක් එක් අපනයනකරුවා විසින් මිලදී ගන්නා මසුන්ගේ මිල ගණන් පිළිබඳව ධීවරයාට සෘජුව දැන ගැනීමටද මේ තුළින් අවස්ථාව හිමිවේ.

මීට අමතරව, අපනයනය සඳහා මසුන් පරිහරණය කළ යුතු ආකාරය, ඇසුරුම් කළ යුතු ආකාරය සහ කල් තබා ගැනීම සඳහා අයිස් යෙදිය යුතු ආකාරය පිළිබඳව ධීවරයන් දැනුවත් කෙරේ. මසුන් සැකසීම, ඇසුරුම් කිරීම සහ අනෙකුත් තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුව විසින් ධීවර කාර්මිකයින්ට පුහුණුව ලබා දීමට කටයුතු කරනු ඇත. කුඩා යාත්‍රා මගින් මසුන් අල්ලන ධීවරයන්ගේ එකමුතුවෙන් අපනයනය සඳහා මසුන් එකතු කරන වෙනම සමිති පිහිටුවීමට අපේක්ෂා කරන අතර, එවැනි දිස්ත්‍රික් මට්ටමින් සකස් කරනු ලබන සමිතිවල සාමාජිකයින් සඳහා මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර ලබා දීමේ හැකියාව සොයා බලා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කෙරේ. තවද, දෛනිකව අපනයනය සඳහා මිලදී ගන්නා මසුන්ගේ මිල ගණන් පිළිබඳව ධීවරයන් දැනුවත් කිරීමටද පියවර ගනු ඇත.

මෙම වැඩසටහන මඟින් ධීවර ප්‍රජාවට ඉහළ ආදායමක් ලැබෙනවා පමණක් නොව, අපනයනකරුවන්ටද ජාත්‍යන්තර වෙළඳපොළට ගැළපෙන ගුණාත්මක මසුන් අපනයනය කිරීමට අවස්ථාව සැලසේ. ඉදිරියේදී සියලුම කුඩා ධීවර යාත්‍රා හිමියන් දැනුවත් කර, වඩාත් හොඳ මසුන් ගොඩබිමට ගෙන ඒම පිළිබඳව දැනුම ලබා දීමට දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

පුළුල් ව්‍යාප්තිය සහ සම්පත් කළමනාකරණය

මෙම වැඩසටහන අනාගතයේදී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එමඟින් සමස්ත රටෙහි අපනයන ආදායම වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන අතරම, පරිණත මසුන් පමණක් අස්වනු නෙළා ගැනීම තුළින් ධීවර සම්පත කළමනාකරණය කිරීම සහ සංරක්ෂණය කිරීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කෙරේ.

මෙම අවස්ථාවට ධීවර දෙපාර්තමේන්තුවේ තත්ත්ව පාලන අංශයේ නිලධාරීන්, මත්ස්‍ය අපනයනකරුවන්, සහ කුඩා යාත්‍රා ධීවරයන් නියෝජනය කරමින් හලාවත දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාවේ විශාල පිරිසක් සහභාගී වූහ.

WhatsApp Image 2025 06 30 at 17.44.51

නවතම පුවත්

Youtube