en banner

DSC 6759ධීවර ජනතාව මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ  මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජූලි 02)  අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී. ඒ. පී. කපිල බමුණුආරච්චි මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියලු වරායන්හි කළමනාකරුවන් සහ දිස්ත්‍රික් නියෝජිතයන් සහභාගී වූහ. ධීවර වරායන්හි පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කෙරිණි. විශේෂයෙන්ම, ක්‍රියාකාරී ධීවර වරාය 22 ක පහසුකම් ප්‍රමාණවත් නොවීම, උපරිම සේවාවන් නොලැබීම සහ වරාය ආශ්‍රිතව පවතින ඩෙංගු අර්බුදය පිළිබඳව සාකච්ඡා විය.

සාකච්ඡාවේදී, ධීවර වරායන්හි අත්‍යවශ්‍ය කටයුතු නිම කිරීම සඳහා රුපියල් මිලියන 750ක මුදලක් කැබිනට් අනුමැතියෙන් ලබාගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යතුමා විශේෂයෙන් සඳහන් කළේය. මෙම මුදල ධීවර වරායන්හි පවතින තීරණාත්මක අවශ්‍යතා සපුරාලීම සඳහා යෙදවීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් වරාය කළමනාකරුවන්ගෙන් අත්‍යවශ්‍ය කාරණා පිළිබඳව විමසන ලදී.

බොහෝ ධීවර වරායන්හි ඉන්ධන බෙදාහැරීමේ පද්ධතිවල, විශේෂයෙන් ඩීසල් සහ භූමිතෙල් පොම්ප 17ක හිඟයක් පවතින බව වාර්තා විය. ධීවර ජනතාවට අත්‍යවශ්‍ය සේවාවක් වන ඉන්ධන සැපයීම කඩිනමින් සිදු කරන ලෙසට නියෝජ්‍ය අමාත්‍යතුමා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් දුන්නේය.

මීට අමතරව, ඇතැම් වරායන්හි වැලි තැන්පත් වීම හේතුවෙන් ධීවර යාත්‍රා ඇතුළුවීමේ සහ පිටවීමේ අපහසුතා මතුව ඇති බව සඳහන් විය. මෙම වැලි කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට ද උපදෙස් දෙන ලදී. තවද, සමහර වරායන්හි ජපන් ජබර වැනි දෑ පිරී තිබීම, කැළි කසළ ඉවත් කිරීමේ පද්ධතිවල අඩුපාඩු, සහ ජැටිවල ටයර් නොමැති වීම නිසා බෝට්ටු වලට හානි සිදුවන අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. මේ සියලු අඩුපාඩු කඩිනමින් සපුරාලීමට පියවර ගන්නා බවට නියෝජ්‍ය අමාත්‍යතුමා පොරොන්දු විය.

ධීවර යාත්‍රා වලට අවශ්‍ය ගුවන්විදුලි යන්ත්‍ර නොමැති වීම පිළිබඳව ද අවධානය යොමු විය. ධීවර අමාත්‍යාංශයේ ලේකම්තුමන් සඳහන් කළේ ඒ සියලුම ගුවන්විදුලි යන්ත්‍ර අවශ්‍යතාවයන් මේ වසර තුළ සම්පූර්ණ කිරීමට හැකියාව තිබෙන බවත්, දැනට ඒ මිලදී ගැනීම් කටයුතු ආරම්භ කර ඇති බවත්ය. ඒ නිසා මේ වසර ඇතුළත ඒවා සම්පූර්ණ කිරීමේ හැකියාව පවතින බව විශේෂයෙන් සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යතුමා වැඩිදුරටත් අවධාරණය කළේ ධීවර කර්මාන්තය අනතුරුවලින් පිරුණු රැකියාවක් වන අතර, මෑතකදී බෝට්ටු අනතුරු ගණනාවක් වාර්තා වීමෙන් ජීවිත හානි සිදුවීම බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බවයි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ධීවරයින්ගේ ජීවිත ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්ෂක කබා පැලඳීම අනිවාර්ය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කරන ලදී. රජය සමග සාකච්ඡා කර, මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන මෙම ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට නියෝජ්‍ය ධීවර අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් එච්. එස්. හතුරසිංහ මහතා ඇතුළු ධීවර වරාය නීතිගත සංස්ථාවේ නිලධාරීන් සහ තවත් බොහෝ දෙනෙක් සහභාගී වූහ.

DSC 6765

DSC 6833

DSC 6781

 

Youtube