ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති අයිවන් රට්ජන්ස් (Iwan Rutjens) මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද(19) පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ද සහභාගී විය.
මෙහිදී දෙරට අතර ඓතිහාසික හා සංස්කෘතික සබඳතා පිළිබඳව සිහිපත් කළ රට්ජන්ස් මහතා, ශ්‍රී ලංකාවේ, විශේෂයෙන්ම යාපනය ප්‍රදේශයේ පවතින ඕලන්ද උරුමයන් ආරක්ෂා කර ගනිමින් නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. තම රටේ විශේෂඥයින් යාපනය ප්‍රදේශයේ සංචාරය කර ඇති බවත්, එම උරුමයන් සුරැකීම සඳහා සහයෝගය දැක්වීමට උනන්දුවක් දක්වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා නෙදර්ලන්තයේ තාක්ෂණික සහයෝගය ලබාගැනීම පිළිබඳව කරුණු කිහිපයක් ඉදිරිපත් කළේය.
ඕලුවිල් වරාය පුනරුත්ථාපනය කිරීම: වැලි පිරී භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති ඕලුවිල් ධීවර වරාය සඳහා තාක්ෂණික විසඳුමක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය. ඊට ප්‍රතිචාර දැක්වූ රට්ජන්ස් මහතා, කලාපයේ ප්‍රමුඛ පෙළේ ලන්දේසි සමාගම් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන බවත්, යෝජිත තාක්ෂණික විසඳුම සාර්ථක වුවහොත් ඒ සඳහා සහනදායී ණය (Soft Loan) පහසුකමක් ලබා දීමේ හැකියාව සොයා බලන බවත් පැවසීය.
වාලච්චේන කලපුව සඳහා පාවෙන ජැටි: වාලච්චේන කලපුවේ ධීවර යාත්‍රා නැංගුරම් ලෑම සඳහා කොන්ක්‍රීට් ජැටි වෙනුවට පරිසර හිතකාමී පාවෙන ජැටි (Floating Jetties) හඳුන්වා දීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවට මෙම ක්ෂේත්‍රයේ පූර්ව අත්දැකීම් නොමැති බැවින්, එහි ශක්‍යතා සහ පාරිසරික බලපෑම් පිළිබඳව තාක්ෂණික ඇගයීමක් සිදුකර දෙන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.
ජලජ ශාක පටක රෝපණය: ජලජ පර්ණාංග (Aquatic Ferns) ක්ෂුද්‍ර ප්‍රචාරණය (Micro-propagation) සම්බන්ධයෙන් ලොව ප්‍රමුඛ පෙළේ විශේෂඥ දැනුමක් නෙදර්ලන්තය සතු බැවින්, එම දැනුම මෙරට නාරා (NARA), නැක්ඩා (NAQDA) ආයතන සහ පෞද්ගලික අංශය සමඟ බෙදා ගැනීම සඳහා විශේෂඥයෙකුගේ සහය ලබා දෙන ලෙස අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉල්ලා සිටියේය. මෙම ක්ෂේත්‍රය පිළිබඳව තමා දැනුවත් වීම ගැන ස්තූතිය පළ කළ රට්ජන්ස් මහතා, තම රටේ විශ්ව විද්‍යාල සහ විශේෂඥයින් සමඟ සාකච්ඡා කර දැනුම බෙදා ගැනීමේ වැඩසටහනක් සඳහා මැදිහත් වන බවට පොරොන්දු විය.
දෙපාර්ශ්වය අතර පැවති මෙම සාකච්ඡාව ඉතා සුහදශීලීව නිමාවට පත් වූ අතර, යෝජිත ක්ෂේත්‍රයන් ඔස්සේ ඉදිරියේදී සමීපව කටයුතු කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.