මෙරට මත්ස්‍ය බෙදාහැරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වන පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ තොග සහ සිල්ලර වෙළෙඳුන් මුහුණ දෙන දීර්ඝකාලීන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, ගරු රත්න ගමගේ මහතා අද (12) දින එම සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී වෙළෙඳ ප්‍රජාව සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වීය.
ඉදිරියේදී පැවැත්වෙන අයවැය සඳහා ධීවර ක්ෂේත්‍රයෙන් යෝජනා ලබා ගැනීමේ වැඩසටහනේ කොටසක් ලෙස පැවති මෙම හමුවේදී, නියෝජ්‍ය අමාත්‍යවරයා තොග සහ සිල්ලර වෙළෙඳ සංගම් නියෝජිතයින් සමඟ සෘජු සාකච්ඡාවක නිරත විය.
මෙහිදී වෙළෙඳ ප්‍රජාව විසින් ප්‍රධාන ගැටලු කිහිපයක් නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත යොමු කරන ලදී:
අක්‍රමවත් තොග වෙළෙඳාම: වෙළඳ සංකීර්ණය වෙත ළඟා වන මත්ස්‍ය ලොරි, ලියාපදිංචි තොග වෙළෙඳසැල් මඟහැර, වෙළඳ සංකීර්ණ භූමිය තුළදීම පිටත ගැනුම්කරුවන්ට සෘජුවම අලෙවි කිරීම හේතුවෙන් ලියාපදිංචි ව්‍යාපාරිකයින් දැඩි අසීරුතාවකට පත්වන බවත්, වෙළඳපොළේ විධිමත් ක්‍රමවේදය බිඳ වැටෙන බවත් තොග වෙළෙඳුන් පෙන්වා දුන්හ.
වෙළෙඳුන් ලියාපදිංචි කිරීමේ අවශ්‍යතාව: වෙළඳ සංකීර්ණයේ සේවයේ නියුතු වෙළෙඳුන්, සේවකයින් සහ නීත්‍යානුකූල සේවා සපයන්නන් සඳහා විධිමත් හැඳුනුම්පතක් නිකුත් කර නොමැති වීම, අනවසර පුද්ගලයින්ගේ පැමිණීම, සොරකම් සහ වෙනත් අක්‍රමිකතා ඉහළ යෑමට හේතු වී ඇති බවට චෝදනා එල්ල විය.
ආරක්ෂක සහ නීතිමය ගැටලු: වෙළඳ සංකීර්ණය තුළ මූල්‍ය වංචා (අගරු චෙක්පත් ලබා දීම වැනි) සහ වෙළෙඳ ආරවුල් විසඳා ගැනීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බව වෙළෙඳුන් පෙන්වා දුන්හ.
මෙම ගැටලු සියල්ලට සාවධානව සවන් දුන් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, එම ගැටලු නිරාකරණය කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බවට වෙළෙඳ ප්‍රජාවට සහතික විය.
"පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය යනු, රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ පෝෂණ මට්ටමට ද සෘජු දායකත්වයක් සපයන ඉතා වැදගත් ස්ථානයක්. මෙහි පවතින ගැටලු විසඳා, සෞඛ්‍යාරක්ෂිත, ක්‍රමවත් සහ සාමකාමී ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි. ඔබ විසින් පෙන්වා දුන් අනවසර වෙළෙඳාම නැවැත්වීමටත්, සියලුම වෙළෙඳුන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ වැඩපිළිවෙළ කඩිනම් කිරීමටත්, පොලිසිය සමඟ සාකච්ඡා කර විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සැකසීමටත් මම මැදිහත් වෙනවා," යනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඔවුන්ගේ යෝජනා ලිඛිතව ලබා දෙන ලෙසත්, 2026 වසරේ සිට මෙම වෙළඳ සංකීර්ණය නව මුහුණුවරකින් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කෙටිකාලීන සැලැස්මක් වහාම සකස් කරන බවත් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.