මෙරට දේශීය ජලජ පරිසර පද්ධතියට සහ ස්වදේශික මත්ස්‍ය සම්පතට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී විදේශීය මත්ස්‍ය විශේෂ හතරක් ආනයනය, ලඟ තබා ගැනීම, අභිජනනය සහ විකිණීම තහනම් කිරීමට පියවර ගැනීමට නියමිත බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අද (15) දින පැවති විශේෂ මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සභාපති කිත්සිරි ධර්මප්‍රිය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ඇන්ගිලින් ප්‍රජාව ස්පොර්ටි ෆිශිං සංගමයේ, ප්‍රධාන අනුශාසක, ප්‍රසන්න ප්‍රියකැලුමි වික්‍රමරත්න මහතා යන මහත්වරු ද එක්ව සිටියහ.
මෙහිදී මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මෙසේ අවධාරණය කළේය:
"අපේ රජයේ ප්‍රධාන වගකීමක් තමයි ශ්‍රී ලංකාවේ අනන්‍ය වූ ජලජ පරිසර පද්ධතිය සහ දේශීය මත්ස්‍ය සම්පත ආරක්ෂා කිරීම. ඒ අතරම, රටට විදේශ විනිමය ගෙන එන විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ශක්තිමත් කිරීමත් අපේ අරමුණයි. මේ අංශ දෙකම සමබරව කළමනාකරණය කරමින්, පරිසරයට හානි කරන ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ තහනම් කිරීමට අපි තීරණය කළා. මෙය කිසිසේත්ම විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට එරෙහිව ගත් පියවරක් නොව, එය තිරසර ලෙස ඉදිරියට ගෙන යාමට ගත් තීරණයක්. ඒ වගේම, දැදුරු ඔයේ පැතිර යන ආක්‍රමණශීලී මත්ස්‍ය ගහනය පාලනය කිරීමට ප්‍රජා සහභාගීත්වයෙන් දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කරනවා."
අමාත්‍යවරයාගේ තීරණයට පාදක වූ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කරමින් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස මහතා, පහත සඳහන් මත්ස්‍ය විශේෂ සඳහා දැඩි නීති පැනවීමට නියමිත බව පැවසීය:
පිරානා (Piranha) විශේෂ
නයිෆ් ෆිෂ් (Knife Fish)
ඇලිගේටර් ගාර් (Alligator Gar)
රෙඩ් ලයින් ස්නේක්හෙඩ් හෙවත් ජයන්ට් ස්නේක්හෙඩ් (Redline Snakehead/Giant Snakehead)
මෙම නව නියෝග ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි සෙනසුරාදා (සැප්තැම්බර් 20) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරිණි.
දැනට මෙම මසුන් ඇතිකරන්නන් සඳහා වන විශේෂ දැනුම්දීම සහ ක්‍රමවේදය
අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි, දැනට මෙම මසුන් ඇතිකරන්නන් සඳහා සකස් කර ඇති මානුෂීය සහ ප්‍රායෝගික ක්‍රමවේදය පිළිබඳව නැක්ඩා සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා මෙසේ පැහැදිලි කළේය:
"නව නීති පැනවීමට නියමිත බවට වන ප්‍රවෘත්තියත් සමඟ, කිසිසේත්ම බියට පත් වී ඔබ සතු මසුන් ස්වභාවික ජල පද්ධතිවලට මුදා නොහරින ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවට, ඔබ සතු මසුන් පිළිබඳව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) වෙත වහාම දැනුම් දෙන්න. එම මසුන් කළමනාකරණය සඳහා අපි පහත ක්‍රමවේදයන් ඔස්සේ සහය වන්නෙමු:"
අපනයනය සඳහා යොමු කිරීම: අපනයනකරුවන් සමඟ සම්බන්ධ වී, නීතිය ක්‍රියාත්මක වීමට පෙර එම මසුන් විදේශ රටවලට අපනයනය කිරීමට අවස්ථාව සලසා දීම.
අධිකාරිය වෙත භාර දීම: අපනයනයට අවස්ථාවක් නොමැති නම්, එම මසුන් නැක්ඩා ආයතනය වෙත භාර දිය හැකිය. භාර දෙනු ලබන මසුන් විනාශ නොකොට, බලයලත් ප්‍රදර්ශනාගාර වැනි සුදුසු ස්ථානවල ඔවුන්ගේ ස්වභාවික ජීවිත කාලය අවසන් වන තුරු රැකබලා ගැනීමට කටයුතු යොදනු ඇත.
විශේෂ බලපත්‍ර මත ලඟ තබා ගැනීම: ඉතා සීමිත අවස්ථාවන්හිදී, විනෝදාංශයක් ලෙස මෙම මසුන් තවදුරටත් ලඟ තබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා, නියාමනයකට යටත්ව බලපත්‍රයක් නිකුත් කිරීමේ හැකියාව පිළිබඳව ද සොයා බැලේ.
"මේ ආදරයෙන් ඇතිදැඩි කළ සතුන්ගෙන් ඔබට හෝ රටට හානියක් නොවන ලෙස වෙන්වීමට අපි උදව් කරන්නෙමු. එබැවින් කලබල නොවී අප දැනුවත් කරන ලෙස නැවතත් ඉල්ලා සිටිනවා," යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
‘දැදුරු ඔය Fishing Tournament 2025’ සංරක්ෂණ මෙහෙයුම
දැනටමත් දැදුරු ඔය ජලාශයේ වසර දෙකක් වැනි කෙටි කලක් තුළ විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති ‘ජයන්ට් ස්නේක්හෙඩ්’ මත්ස්‍ය ගහනය පාලනය කිරීමේ අරමුණින්, "දැදුරු ඔය Fishing Tournament 2025" නමින් විශේෂ මසුන් ඇල්ලීමේ තරගයක් සහ සංරක්ෂණ වැඩසටහනක් සැප්තැම්බර් 20 වන සෙනසුරාදා දින සංවිධානය කර ඇත. මෙම වැඩසටහන ධීවර අමාත්‍යාංශයේ පූර්ණ මඟපෙන්වීම යටතේ, ‘ඇංග්ලින් ප්‍රජාව ස්පෝට් ෆිෂින් ක්ලබ්’ (Angling Prajava Sport Fishing Club) සංගමයේ සහ ප්‍රදේශයේ ධීවර සමිතිවල සෘජු දායකත්වයෙන් සංවිධානය කෙරේ.
ඇන්ගිලින් ප්‍රජාව ස්පොර්ටි ෆිශිං සංගමයේ, ප්‍රධාන අනුශාසක, ප්‍රසන්න ප්‍රියකැලුමි වික්‍රමරත්න මහතා සඳහන් කළේ, මෙම තරගකාරී ඉසව්ව හරහා එක් දිනක් තුළ විශාල මසුන් ප්‍රමාණයක් පරිසරයෙන් ඉවත් කළ හැකි බවට විශ්වාස කරන බවත්ය. මෙමගින් පරිසරයෙන් ආක්‍රමණශීලී මසුන් ඉවත් කිරීම සහ ජනතා දැනුවත් කිරීමට අමතරව, ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක වේ. ඒ අනුව, තරගයේ මුදල් ත්‍යාග සියලු දෙනා සඳහා විවෘත වන අතර, දැදුරු ඔය ආශ්‍රිත ධීවර ප්‍රජාව සඳහාම වෙන්වූ විශේෂ දිරිගැන්වීමක් ලෙස, Fishing Rods 15ක් සහ Reels 03ක් ඇතුළු වටිනා ධීවර උපකරණ තොගයක් ප්‍රදානය කිරීමට ‘ඇංග්ලින් ප්‍රජාව’ සංගමය සහ එහි අනුග්‍රාහකයන් කටයුතු යොදා ඇත.