en banner

WhatsApp Image 2025 11 19 at 10.44.15වාලච්චේනයි, ත්‍රිකුණාමලය සහ මයිලිඩ්ඩි යන ධීවර වරායන්හි නවීන සමුද්‍ර ගුවන්විදුලි සන්නිවේදන සහ හදිසි ප්‍රතිචාර ඒකක (MRCU) පිහිටුවීම සඳහා වන නිල ගිවිසුම පසුගියදා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී අත්සන් කරන ලදී.

මෙම ව්‍යාපෘතිය ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) තාක්ෂණික සහ මූල්‍ය සහාය ඇතිව ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකා මුහුදු තීරයේ ක්‍රියාත්මක වන ධීවරයින්ගේ ආරක්ෂාව සහ සන්නිවේදනය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අත්සන් කිරීමේ උත්සවයට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත සහ JICA නියෝජ්‍ය අධ්‍යක්ෂ නොමුරා ටෙට්සුයා යන මහත්වරු සහභාගී වූහ. මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ ධීවර අංශය නව තාක්ෂණික අවධියකට ඔසවා තැබීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ඔවුහු අවධාරණය කළහ.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ මුහුදේ බහුදින ධීවර යාත්‍රා සමඟ අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීම, සමුද්‍රීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීම, කාලෝචිත කාලගුණ අනතුරු ඇඟවීම් සහ ආරක්ෂක දැනුම්දීම් නිකුත් කිරීම සහ හදිසි අවස්ථා වලදී ප්‍රතිචාර දැක්වීමේ කාලය අවම කිරීමයි. නව සන්නිවේදන මධ්‍යස්ථානවල ස්ථාපනය වන යටිතල පහසුකම් මඟින් මුහුදේ ඇතිවන අනතුරු තත්ත්වයන්ට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට හැකි වන අතර, එමඟින් ධීවරයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට විශාල දායකත්වයක් ලැබෙනු ඇත.

උතුරු සහ නැගෙනහිර පළාත්වල වන දහස් ගණනක් ධීවරයින්ට ආරක්ෂිත, විශ්වාසනීය සහ නවීන සන්නිවේදන පහසුකම් ලබා ගැනීමට හැකි වනු ඇත. නීතිවිරෝධී මසුන් ඇල්ලීම අවම කිරීම, නෞකා ගමන් මාර්ග සැලසුම් කිරීම වඩා කාර්යක්ෂම කිරීම සහ ධීවර කළමනාකරණය ජාතික මට්ටමින් ශක්තිමත් කිරීමත් මෙයින් ලැබෙන අනෙකුත් ප්‍රතිලාභ වේ. යෝජිත ව්‍යාපෘතිය ලබන වසර තුළදී ආරම්භ කර අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම මුලපිරීම ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීමට, ධීවර කර්මාන්තය නව තාක්ෂණික යුගයකට ගෙන යාමට සහ ඉදිරි වසරවලදී ආරක්ෂාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට හේතු වනු ඇති බව ධීවර අමාත්‍යාංශය අවධාරණය කරයි.

WhatsApp Image 2025 11 19 at 10.44.14

WhatsApp Image 2025 11 19 at 10.44.14 1


 

Youtube