en banner

d208764a 85f9 444d a351 e212e10290ffශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ ආගමික නිදහස සහ සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වත්මන් රජය උපරිමයෙන් කැපවී ක්‍රියා කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.

ලක්වාසී මෙන්ම ලෝකවාසී සමස්ත මුස්ලිම් ජනතාව වෙත ඊද් අල්-අදා (හජ්) උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියි.

හජ් උත්සවය යනු හුදු ආගමික සැමරුමකට වඩා එහා ගිය, අන් අය වෙනුවෙන් කැපවීම, සමානාත්මතාවය සහ අනුකම්පාව වැනි උතුම් මානව වටිනාකම් ලොවට කියාපාන ශුද්ධ වූ දිනයක් බව අමාත්‍යවරයා සිය පණිවිඩයෙන් පෙන්වා දෙයි. රට මේ වන විට නව දේශපාලන හා සමාජීය පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින බවත්, අතීතයේ පැවැති අභියෝග ජය ගනිමින්, සියලු ජනතාවට සමානාත්මතාවය සහ යුක්තිය ඉටු කෙරෙන නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට රජය පියවර ගනිමින් සිටින බවත් හෙතෙම සඳහන් කරයි.

එම නිල පණිවිඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ:

"මෙම නව ගමනේදී, රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය වෙනුවෙන් අපගේ මුස්ලිම් සහෝදර ජනතාව දක්වන දායකත්වය අතිමහත්ය. විශේෂයෙන්ම, ධීවර හා සමුද්‍රීය ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ඔවුන් සපයන දායකත්වය සහ කැපවීම රටේ සංවර්ධනයේ ප්‍රධාන කුළුණක් බඳුය."

ජාති, ආගම් හෝ භාෂා භේදවලින් තොර එකමුතුකම රටක සැබෑ ශක්තිය බව පවසන ධීවර අමාත්‍යවරයා, බහුවාර්ගික රටක් වන ශ්‍රී ලංකාව තුළ ජාතික සහජීවනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා රජය අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවද අවධාරණය කරයි.

සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන විට පමණක් රටේ ස්වෛරීභාවය සහ සාමය තහවුරු වන බව රජය දැඩිව විශ්වාස කරන බවත්, රටේ නීති රාමුව තුළ කිසිදු බියකින් හෝ සැකයකින් තොරව තම ආගමික වත්පිළිවෙත් මෙන්ම ජීවනෝපාය කටයුතු කරගෙන යාමට අවශ්‍ය සුරක්ෂිත පරිසරයක් මුස්ලිම් ප්‍රජාව වෙත සහතික කර ඇති බවත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

නවතම පුවත්

Youtube