en banner

galle6ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා වන "දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ" දෙවන සැසිවාරය ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා විශේෂ කරුණු කිහිපයක් අනාවරණය කළේය. ඒ අනුව, ගාල්ල, දොඩන්දූව, හික්කඩුව සහ අම්බලන්ගොඩ යන ධීවර වරායන් හතරෙහි සංවර්ධන කටයුතු එළඹෙන අගෝස්තු මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, එහි මූලික අදියරේ වැඩකටයුතු වසරක් ඇතුළත නිම කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ධීවර වරායන් තුළ එක්රැස් වන ෆයිබර්ග්ලාස් (Fiberglass) අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා "ක්ලීන් ශ්‍රී ලංකා" (Clean Sri Lanka) වැඩසටහන හා සීනෝර් (Cey-Nor) ආයතනය ඒකාබද්ධව බේරුවල ධීවර වරායේ විශේෂ ප්‍රතිචක්‍රීකරණ ඒකකයක් ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා පැවසීය. මේ සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ දැනටමත් ලැබී ඇති අතර මාස දෙක තුනක් ඇතුළත එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

*මෙම කමිටු රැස්වීමේදී තවදුරටත් අවධානය යොමු වූ කරුණු:*

- කොස්ගොඩ ගල්බොක්ක ධීවර වරායේ පවතින ගල් පරය පුපුරවා ඉවත් කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම.
- දිස්ත්‍රික්කය පුරා විසිරී ඇති ධීවර තොටුපළ 37ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සොයා බැලීම.
- ධීවර වරාය පරිශ්‍රයන් තුළ විධිමත් කසළ කළමනාකරණ පද්ධතියක් සකස් කිරීම.
- කළපු කළමනාකරණය සහ මිරිදිය ධීවර කර්මාන්තයේ පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීම.

පසුගිය සම්බන්ධීකරණ කමිටුවේදී ගනු ලැබූ තීරණවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කරන අතරම පරිසර හිතකාමී ධීවර කර්මාන්තයක් ප්‍රවර්ධනය කිරීම රජයේ මූලික අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී.කේ. ජයසුන්දර, නිශාන්ත පෙරේරා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී.ඒ.පී. කපිල බමුණුආරච්චි, ලංකා ධීවර සංස්ථාවේ සභාපති මොහොමඩ් නව්රාස් නසාර්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් සහ දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

galle2

galle4

galle5

galle1

galle3

 

නවතම පුවත්

Youtube