මාතර, ගන්දර ධීවර වරාය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නියමිත කාලසීමාවට අනුව අවසන් කර ධීවර ජනතාවට කඩිනමින් උපරිම සේවාවක් සැලසීම රජයේ අපේක්ෂාව බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා අද (29) පෙරවරු 8:30ට ගන්දර ධීවර වරාය පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සෘජුවම කරුණු සොයා බලන ලදී. රුපියල් මිලියන 13,400ක දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු 2026 වසරේ දෙසැම්බර් මාසය වන විට මුළුමනින්ම අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත.
වරාය පරිශ්‍රයේදී ප්‍රදේශයේ ග්‍රාමීය ධීවර සංවිධාන නියෝජිතයන් හමු වූ අමාත්‍යවරයා ඔවුන් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය. එහිදී ධීවර ප්‍රජාව ඉදිරිපත් කළ ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
අනතුරුව පෙරවරු 9:30ට දෙවුන්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්විණි. ගන්දර ධීවර වරායට අතිරේක දියකඩනයක් (Breakwater) ඉදිකිරීමට අදාළව LHI ආයතනය සකස් කර තිබූ නව සැලසුම මෙහිදී ධීවර ප්‍රජාව වෙත ඉදිරිපත් කෙරිණි. එම සැලසුම පිළිබඳව ධීවරයින් සහ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවෙන් පසු ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ එකඟතාවය ලබා ගැනීම සාර්ථකව සිදු විය.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ලංකා රාමනායක මහතා, සංවර්ධන අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මිය, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රභාත් රණවීර මහතා, මාතර දිස්ත්‍රික් ධීවර සහකාර අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්, දෙවුන්දර ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපතිතුමන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.


















