‘Ditwah’ සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ නැගෙනහිර පළාතේ මිරිදිය ධීවර ප්‍රජාව යළි නගා සිටුවීම සහ ඔවුන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු කරගත්, ඇමරිකානු ඩොලර් මිලියන 1.33ක (රුපියල් මිලියන 436ක් පමණ) සුවිශේෂී ව්‍යාපෘතියක නිල ගිවිසුම් අත්සන් කිරීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී සිදු විය.
මෙම ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය ජපාන රජය විසින් ලබාදෙන අතර, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) මගින් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට නියමිතය. මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (H.E. ISOMATA Akio) මහතා සහ FAO නේවාසික නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් (Mr. Vimlendra Sharan) මහතා අත්සන් තැබූහ.
*ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහන්:*
- නැගෙනහිර පළාතේ තෝරාගත් ජලාශ 30ක මත්ස්‍ය කූඩු 200ක් (Fish Cages) ස්ථාපිත කිරීම.
- අදාළ ජලාශ සඳහා අවශ්‍ය Barrage nets පද්ධති ලබාදීම.
- නැගෙනහිර පළාතේ ඉඟිණියාගල මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ පහසුකම් වර්ධනය කිරීමට අවශ්‍ය හෝමෝන සහ රසායනික ද්‍රව්‍ය සැපයීම.
- ධීවර සමිති සහ නියෝජිතයින් සඳහා Cage Culture පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- පළමු වගා වටය සඳහා අවශ්‍ය මත්ස්‍ය පැටවුන් සහ මත්ස්‍ය ආහාර (Feed) නොමිලේ ලබාදීම.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේ, මෙම ව්‍යාපෘතිය මෙරට මිරිදිය ධීවර කර්මාන්තයේ නව සන්ධිස්ථානයක් වනු ඇති බවයි.
“අපේ රටේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය නවීන තාක්ෂණය ඔස්සේ ඉහළ නැංවීමට ලැබුණු මෙම සහාය පිළිබඳව මම ජපාන රජයට සහ FAO සංවිධානයට ස්තූතිවන්ත වෙනවා. සාගර ධීවර කර්මාන්තයට සාපේක්ෂව අඩු ඉන්ධන පිරිවැයක් යටතේ ජනතාවට අවශ්‍ය ප්‍රෝටීන අවශ්‍යතාවය සපුරාලීමටත්, අනාගතයේදී අපනයන අවස්ථා කරා යාමටත් මෙම නවීන කූඩු වගා ක්‍රමය (Cage Culture) අපට මනා පිටුවහලක් වෙනවා. මෙය නැගෙනහිර පළාතේ පමණක් නොව සමස්ත ලංකාවේම මිරිදිය ධීවර ක්ෂේත්‍රය නවීකරණය කිරීමට ලැබුණු විශාල අවස්ථාවක්,” යැයි අමාත්‍යවරයා පැවසීය.
ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා මෙහිදී ප්‍රකාශ කළේ, සාගර ධීවර කර්මාන්තය ඉහළ ඉන්ධන පිරිවැයක් හමුවේ අභියෝගවලට ලක්ව ඇති මෙවන් අවස්ථාවක, මිරිදිය ධීවර කර්මාන්තය ශක්තිමත් කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ආහාර සුරක්ෂිතතාවයට අත්‍යවශ්‍ය වන බවයි. ජපානය සැමවිටම ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් නොසැලෙන මිතුරෙකු ලෙස පෙනී සිටින බවද තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ.








