en banner

WhatsApp Image 2025 12 03 at 08.14.09ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා කිහිපයකට, මෑතදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳව පෞද්ගලිකව සොයා බැලීම සඳහා, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතා දෙසැම්බර් 01 වන දින සීදුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී, නිව් මදු නදී (New Madu Nadee International) සහ බ්ලූ ලයින් ඕෂන් පුද්.සමාගම  (Blue Line Ocean Pvt.Ltd) පුද්ගලික සමාගම ඇතුළු ප්‍රමුඛ පෙළේ අපනයන මධ්‍යස්ථාන අඩි පහක් පමණ උසට ජලයෙන් යටවී ඇති අයුරු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. මෙම කර්මාන්තශාලා, යුරෝපා සංගමය වෙත අගය එකතු කළ මත්ස්‍ය නිෂ්පාදන සපයන, රටට විශාල විදේශ විනිමයක් උපයන ප්‍රධාන මධ්‍යස්ථාන වේ.

විශේෂයෙන්ම, ශීතාගාර (Cool Rooms) ඇතුළු අත්‍යාවශ්‍ය  යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බවත්, වැඩිදුර අලාභ වළක්වා ගැනීම සඳහා විදුලි බල සැපයුම වහාම යථා තත්ත්වයට පත් කිරීමේ හදිසි අවශ්‍යතාවත් මෙහිදී ව්‍යාපාර හිමියෝ පෙන්වා දුන්හ.

ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ගමගේ මහතා, එම ස්ථානයේ සිටම ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා සහ ලංකා විදුලිබල පුද්ගලික සමාගමේ (LECO) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තේය. මෙම අපනයන කර්මාන්තවල ජාතික වැදගත්කම අවධාරණය කළ ඒ මහතා, මෙම කර්මාන්තශාලා වෙත විදුලිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස ඉල්ලා සිටියේය.

"මත්ස්‍ය නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රය, අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයේ ශක්තිමත් කුළුණකි. එමගින් රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය උපයනවා වගේම, අපේ බහුදින ධීවර යාත්‍රා ඇතුළු දහස් ගණනකගේ ජීවනෝපාය සුරක්ෂිත කරනවා," යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. "මෙම ව්‍යාපාර සහ පීඩාවට පත් අනෙකුත් අපනයන කර්මාන්තශාලා පහළොවකට පමණ, හැකි ඉක්මනින් නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු සහය ලබා දීමට රජය සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා. යුරෝපා සංගමය වැනි ප්‍රධාන වෙළෙඳපොළවල් අපට අහිමි වුවහොත්, සමස්ත ධීවර කර්මාන්තයේම තිරසාරභාවයට එය බලපාන නිසා, මෙම යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය අපි කඩිනම් කරනවා."

රජයේ ප්‍රතිපත්තිය, ප්‍රතිලාභ සියලු දෙනා අතර සාධාරණව බෙදී යන, ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම බව නැවත තහවුරු කළ ඒ මහතා, පීඩාවට පත් ව්‍යවසායකයින්ට නැවත ගොඩනැගීම සඳහා හැකි සෑම සහයක්ම ලබා දී, ඔවුන් ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට උදව් කරන බවට සහතික විය.

WhatsApp Image 2025 12 03 at 08.14.08

WhatsApp Image 2025 12 03 at 08.14.31

 

Youtube