චීන මහජන සමූහාණ්ඩුවේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව, මාර්තු 25 සිට 27 දක්වා බීජිං නුවර පැවැති ‘ZGC 2026 Forum Annual Conference’ ජාත්‍යන්තර සමුළුවට ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සහභාගී විය.
ඕස්ට්‍රේලියාව සහ ජර්මනිය ඇතුළු රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සමුළුව AI තාක්ෂණය සහ සමුද්‍රීය පාරිසරික සංරක්ෂණය යන තේමාවන් යටතේ සංවිධානය කර තිබිණි.
මෙහිදී සමාරම්භක දේශනය පවත්වමින් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අවධාරණය කළේ, ඉන්දියන් සාගරයේ උපායමාර්ගිකව පිහිටි දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික වර්ධනය සාගරය මත බෙහෙවින් රඳා පවතින බවයි. එබැවින් සාගර කළමනාකරණය සඳහා චීනය වැනි දියුණු රටවල් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීම කාලීන අවශ්‍යතාවක් බව එතුමා පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම විද්‍යාත්මක දත්ත මත පදනම් වූ සාගර ප්‍රතිපත්ති සැකසීම, නවීන ධීවර යාත්‍රා තාක්ෂණය හඳුන්වා දීම, චන්ද්‍රිකා තාක්ෂණය මගින් සාගර සම්පත් නිරීක්ෂණය සහ ගැඹුරු මුහුදු ගවේෂණ කටයුතු සඳහා චීනයේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. දේශගුණික විපර්යාස හමුවේ සාගර සම්පත් තිරසාර ලෙස පරිහරණය කිරීමට දෙරටේ පර්යේෂණ ආයතන අතර ශිෂ්‍ය හා තාක්ෂණික හුවමාරු වැඩසටහන් ශක්තිමත් කිරීමේ වැදගත්කමද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙම නිල සංචාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය පී.කේ. ජයන්ත මහතා සහ නාරා (NARA) ආයතනයේ සභාපති සනත් හෙට්ටිආරච්චි මහතා ද සහභාගී වූ අතර, ඔවුහු ද සමුළුව අමතමින් සිය අදහස් ඉදිරිපත් කළහ.








