ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර වැදගත් හමුවක් අද (14) ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ධීවර ප්‍රජාවගේ සුබසාධනය, සාගර සම්පත් සුරැකීම, ධීවර කර්මාන්තයේ සංවර්ධනය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව මෙම හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
උතුරු පළාතේ ධීවර ප්‍රජාව දශක තුනක යුද්ධයකින් පසු දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ධීවර කටයුතුවල නිරත වන බවත්, ඔවුන්ගේ ජීවනෝපායන්ට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් අමාත්‍ය චන්ද්‍රසේකර මහතා පෙන්වා දුන්නේය. මේ අතර, තමිල්නාඩු ධීවරයන්ගේ නීතිවිරෝධී 'Bottom trawling' ධීවර යාත්‍රා මගින් සාගර සම්පත්වලට විශාල හානියක් සිදුවන බැවින්, එය වැළැක්වීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර දැක්වූ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා කියා සිටියේ 'Bottom trawling' ධීවර ක්‍රමය තමිල්නාඩුවේ ද තහනම් කර ඇති බවත්, දැනට ධීවරයන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වීමට දිරිමත් කරන බවත්ය. තමිල්නාඩු ධීවරයන් ද ඉතා අඩු දෛනික වැටුප් ලබන ජනතාව බව අවධාරණය කළ ඔහු, සංස්කෘතික වශයෙන් සහ එකම භාෂාව කතා කරන අය ලෙස, දෙපාර්ශ්වයේම ධීවරයන් අතර සාකච්ඡා දිරිමත් කිරීමෙන් අවබෝධයක් ඇති කිරීමටත්, ගැටලු සඳහා විසඳුම් සෙවීමටත් පදනමක් ගොඩනැගිය හැකි බවත් පැවසීය.
අතීතයේදී ද තමිල්නාඩු ධීවර කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණි බවත්, තමා තමිල්නාඩුවට ගිය අවස්ථාවේදී ඔවුන් හමු වී සහෝදරත්වයෙන් සුහද සාකච්ඡා පැවැත්වූ බවත් අමාත්‍ය රාමලිංගම් මහතා සිහිපත් කළේය. මහ කොමසාරිස්වරයාගේ ඉල්ලීම පරිදි, අනාගතයේ දී දෙරටේ ධීවර ප්‍රජාවන් අතර හමුවීම් සහ සාකච්ඡා වැඩි දියුණු කර අවබෝධය ශක්තිමත් කිරීමට එකඟතාව පළ කළේය.
ධීවර කර්මාන්තයේ සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය චන්ද්‍රසේකර් මහතා, උතුරු හා නැගෙනහිර පළාත්වල ධීවර වරායන් නොමැති බවත්, පේසාලෙයි (Pesalai), ගුරුනගර් (Gurunagar) සහ පේදුරු තුඩුව (Point Pedro) වැනි ස්ථානවල ඒ සඳහා ඇති හැකියාවන් පිළිබඳව පැවසීය. ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වීම සඳහා යාත්‍රා පහසුකම් සහ ගබඩා පහසුකම් උතුරු ධීවරයන්ට නොමැති බවත්, කුඩා ධීවර වරායන් එකක් හෝ දෙකක් ඉදිකිරීමට ජාත්‍යන්තර ආධාර බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
ධීවර කර්මාන්තයට අදාළ සංවර්ධන කටයුතු සඳහා සහයෝගය ලබා දීමට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ ඉන්දීය මහ කොමසාරිස්වරයා, ඉන්දීය ආධාර සහිතව පේදුරු තුඩුව ධීවර වරාය (Point Pedro Fisheries Harbour) කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට උනන්දුවක් දැක්වීය. රජය සතු බෝට්ටු නිෂ්පාදන ආයතනයක් වන සීනෝර් (CEYNOR) සමාගමේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සඳහා ද ඉන්දියාව ආධාර ලබා දීමට අපේක්ෂා කරයි.
තවද, ඉන්දීය ආධාර මත ඉදිකරන ලද සංස්කෘතික මධ්‍යස්ථානය භාරකාර අරමුදලක් (Trust Fund) හරහා නිසි ලෙස කළමනාකරණය කිරීම පිළිබඳව ද, අච්චුවේලි කර්මාන්ත කලාපය (Achchuveli Industrial Zone) ඉදිකිරීම් සහ ඉන්දීය ආයෝජකයන්ගේ සහයෝගය ඉල්ලා සිටීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
එසේම, නාගපට්ටිනම් - කන්කසන්තුරේ (Nagapattinam - Kankesanthurai) මගී නෞකා සේවය මෙන් තලෙයිමන්නාරම (Thalai Mannar) සහ රාමේෂ්වරම් (Rameswaram) අතර මගී නෞකා සේවයක් ආරම්භ කිරීම පිළිබඳව ද සාකච්ඡා විය. කන්කසන්තුරේ වරාය (Kankesanthurai Harbour) නවීකරණය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් සූදානම් කර ඇති බවත්, භාණ්ඩ ප්‍රවාහන සේවා කඩිනමින් ආරම්භ කිරීමේ හැකියාවන් පිළිබඳව ද ඉන්දීය මහ කොමසාරිස්වරයා විමසා සිටියේය.
ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගයට ස්තූති කරමින් අමාත්‍ය රාමලිංගම් මහතා අවධාරණය කළේ, අනාගතයේදී ධීවර ගැටලු සඳහා ඵලදායී සාකච්ඡා පවත්වා විසඳුම් සෙවීමට රජය සූදානම් බවයි.
මෙම හමුවට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාන්ඩේ, පළමු ලේකම් රාම් බාබු මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස යන මහත්වරුන් ද සහභාගී වූහ.