ඉන්දුනීසියාවේ බාලි නුවරදී ඊයේ (30) ආරම්භ වූ වෙරළබඩ රාජ්‍යයන්ගේ සන්ධානයේ 30 වන සැසිවාරය (30th Session of the Coastal States Alliance - CSA 030) නියෝජනය කිරීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහභාගී වූහ.
ඉන්දීය සාගර කලාපයට අයත් වෙරළබඩ රාජ්‍යයන් 12 ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් 2026 ජනවාරි 30 සහ 31 යන දිනවලදී මෙම සමුළුව පැවැත්වේ. ඉන්දීය සාගර ටූනා කොමිසමේ (IOTC) රාමුව තුළ, සංක්‍රමණික මත්ස්‍ය විශේෂයක් වන ටූනා (කෙලවල්ලා) මත්ස්‍ය සම්පත සඳහා සාධාරණ, තිරසාර සහ නීතිගරුක පාලනයක් දිරිගැන්වීම මෙම හමුවේ ප්‍රධාන අරමුණයි.
ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, මැලේසියාව, මාලදිවයින, මැඩගස්කරය, මොසැම්බික්, පාකිස්ථානය, සෝමාලියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් මෙම සන්ධානයේ සාමාජිකයින් ලෙස කටයුතු කරයි.
මෙම සමුළුවට සහභාගී වෙමින් ශ්‍රී ලංකා නියෝජිත පිරිස පහත සඳහන් කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලදී:
• *ටූනා මත්ස්‍ය සම්පත සංරක්ෂණය:* සාගරයේ නිදහසේ සංක්‍රමණය වන මත්ස්‍ය විශේෂයක් වන ටූනා මත්ස්‍යයින්ගේ ගහනය ආරක්ෂා කර ගැනීම සඳහා සාමාජික රටවල් අතර පොදු දැක්මක් ගොඩනැගීම.
• *සාමූහික එකඟතාව:* ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දීය සාගර ටූනා කොමිසමේ (IOTC) රැස්වීම්වලදී, කලාපීය වෙරළබඩ රටවල ජාතික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා ධීවර කටයුතු වල නිරත වන දුරස්ථ රටවල් (Distant Water Fishing Nations - DWFN) සමඟ සාකච්ඡා කිරීමට ශක්තිමත් පදනමක් සකස් කර ගැනීම.
• *සහයෝගීතාවය වර්ධනය කිරීම:* සාගර සම්පත් බෙදා හැරීම සහ කළමනාකරණය සම්බන්ධයෙන් රටවල් අතර අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කිරීම.
මෙම සමුළුවේ ප්‍රතිඵලයක් ලෙස වෙරළබඩ රාජ්‍යයන්ගේ සන්ධානය (CSA) පිහිටුවීම පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත අතර, 2026 ජුනි මාසයේදී බාලි නුවරදීම පැවැත්වීමට නියමිත "Ocean Impact Summit 2026" සමුළුවේදී මේ සම්බන්ධ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව ඇත.
තිරසාර ධීවර කර්මාන්තයක් පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම මෙම සංචාරයේදී අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් අවධාරණය කරන ලදී.







