en banner

Trinco District Committee 8කොඩ්බේ වරාය සංවර්ධනයට සහ ඉඩම් ගැටලු විසඳීමට නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් කඩිනම් පියවර

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් අද (24) දින ත්‍රිකුණාමලයේදී පැවැත්විණි. මෙය 2024 ජුනි මස පැවති පළමු රැස්වීමේ ප්‍රගති සමාලෝචනයක් ලෙස ද ක්‍රියාත්මක විය.

දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමණ මහතා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් හේමන්ත කුමාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ධීවර සමිති නියෝජිතයින් 50ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙහිදී සාකච්ඡා වූ ප්‍රධාන කරුණු සහ ගනු ලැබූ තීරණ පහත පරිදි වේ:
* ඉඩම් ගැටලු නිරවුල් කිරීම: වන සංරක්ෂණ සහ වනජීවී දෙපාර්තමේන්තු යටතේ පවතින ඉඩම් ධීවර කටයුතු සඳහා ලබා ගැනීමේ ගැටලු සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක ඉස්සන් අභිජනන ව්‍යාපෘතියට අදාළ ඉඩම් ප්‍රශ්න විසඳීම සඳහා, ඉඩම් හා පරිසර අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් සමඟ කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
* කොඩ්බේ ධීවර වරාය: •⁠ ත්‍රිකුණාමලය කොඩ්බේ සහ යාපනය ගුරුනගර් ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකු ව්‍යාපෘතියක් යටතේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි මහතා මෙහිදී අනාවරණය කළේය. කොඩ්බේ වරාය සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 12ක ඇස්තමේන්තුගත ආයෝජනයක් සිදු කිරීමට නියමිත බවත්, ඒ යටතේ මීටර් 300ක නව ජැටියක් ඉදිකිරීම, දිනකට ටොන් 10ක ධාරිතාවයෙන් යුත් නවීන මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථානයක් (Fish Processing Plant) ස්ථාපිත කිරීම සහ යටිතල පහසුකම් පුළුල් කිරීම සිදු කෙරෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
* තහනම් පන්න ක්‍රම: හැඹිලි දැල්, පූට්ටු දැල්, ඩයිනමයිට් භාවිතය සහ කෝකිලායි කලපුවේ සිදුවන අවිධිමත් ධීවර කටයුතු මැඩලීම සඳහා කඩිනම් ක්‍රමවේදයක් සකස් කිරීමට ධීවර දෙපාර්තමේන්තුවට උපදෙස් දෙන ලදී. සම්පත සුරැකීම වෙනුවෙන් නීතිවිරෝධී ක්‍රියාවලින් වළකින ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
* මාදැල් කර්මාන්තය: මාදැල් කර්මාන්තය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණයට නාරා (NARA) ආයතනය මගින් විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කර මාස තුනක් ඇතුළත වාර්තාවක් ලබා දීමට නියමිත බව හෙළිදරව් කෙරිණි.

ධීවර සමිති ශක්තිමත් කිරීම සඳහා විශේෂ පුහුණු වැඩසටහන් මාලාවක් මෙම වසර තුළ ක්‍රියාත්මක කරන බව ජාතික ධීවර සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජන්ත කුමාර මහතා මෙහිදී සඳහන් කළේය.

සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමෙන් ධීවර ගැටලු විසඳාගත හැකි බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, සාධනීය විසඳුම් සඳහා අමාත්‍යාංශයේ පූර්ණ කැපවීම පළ කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) එන්. සිවලිංගම් මහතා, ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති කපිල බමුණුආරච්චි මහතා, නියෝජ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් එච්.එස්. හතුරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Trinco District Committee 7

Trinco District Committee 4

Trinco District Committee 6

Youtube