en banner

WhatsApp Image 2026 03 04 at 09.19.26ධීවර ප්‍රජාව වෙත වඩාත් කාර්යක්ෂම සහ කඩිනම් සේවාවක් ලබා දීමේ අරමුණින්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය (MSDFAR) සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් දත්ත පද්ධතිය (DRP) ඒකාබද්ධ කිරීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (03) දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේදී සිදුවිය.

2020 වසරේ සිට ක්‍රියාත්මක ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ මේ වන විට යාත්‍රා ලියාපදිංචිය, ධීවර බලපත්‍ර නිකුත් කිරීම, ධීවර කාර්මික හා නියමු හැඳුනුම්පත් නිකුත් කිරීම, යාත්‍රා පිටත්වීම, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ යාත්‍රා නිරීක්ෂණය (VMS), මත්ස්‍ය අස්වනු දත්ත එක්රැස් කිරීම සහ මාර්ගගත ගෙවීම් පද්ධති ඇතුළු සේවාවන් රැසක් මාර්ගගත ක්‍රමයට (Online) පරිවර්තනය කර ඇත. මෙම දත්ත පද්ධතියේ ඇති වැදගත්කම සලකා රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද දිවයිනේ 'ජාතික තීරණාත්මක තොරතුරු පද්ධති' (Critical National Information Infrastructure) 37 අතුරෙන් 11 වන පද්ධතිය ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ MSDFAR පද්ධතිය නම් කර තිබීම විශේෂත්වයකි.

මෙම වසර තුළ බහුදින ධීවර යාත්‍රා වලට අමතරව අනෙකුත් ධීවර යාත්‍රා සඳහා ද මෙම ඩිජිටල් පද්ධති හඳුන්වා දීමට නියමිතය. එහිදී යාත්‍රා හිමියන් සහ ධීවර කාර්මිකයින් පද්ධතියට ඇතුළත් කර ගැනීමේදී ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමේදී පැනනගින ගැටලු නිරාකරණය කර ගැනීම මෙම නව ගිවිසුමේ මූලික අරමුණයි.

මෙම ගිවිසුම හරහා දත්ත හුවමාරු කරගැනීමේ තාක්ෂණික කටයුතු ඉදිරියේදී දෙපාර්තමේන්තු දෙකෙහි තොරතුරු තාක්ෂණ අංශ මගින් සිදු කෙරෙනු ඇත. මෙම ඒකාබද්ධතාවය හරහා ධීවර දෙපාර්තමේන්තුවේ මාර්ගගත සේවාවන් පුළුල් කිරීමටත්, විශේෂයෙන්ම ධීවර බලපත්‍ර ලබා දීමේ එක්දින සේවාවක් (One-Day Service) ආරම්භ කිරීමටත් අවශ්‍ය මූලික අඩිතාලම වැටෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහත්මිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත මහතා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල් කේ.එච්.ජේ.එල්. සේනාරත්න මහත්මිය, කොමසාරිස් (පර්යේෂණ හා සංවර්ධන) ලක්මාලි ජයසිංහ මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) නුවන් ගුණවර්ධන මහතා ඇතුළු ආයතන දෙකෙහිම තොරතුරු තාක්ෂණ අංශවල නිලධාරීහු සහභාගී වූහ.

Youtube