උතුරු පළාතේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීන තාක්ෂණය ඔස්සේ නගා සිටුවීම පිළිබඳව, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ නෝර්වේ රාජ්‍යයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රියාස් මොට්ස්ෆෙල්ඩ් ක්‍රාවික් (Hon. Andreas Motzfeldt Kravik) මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (04) දින ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, වසර 15කට අධික කාලයක් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ජනතාව සමඟ සමීපව කටයුතු කරන මහජන නියෝජිතයෙකු ලෙස, උතුරේ ජනතාව සහ නෝර්වේ රාජ්‍යය අතර පවතින සුවිශේෂී මිත්‍රත්වය සහ ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාවලියට නෝර්වේ රජය දැක්වූ දායකත්වය කෘතවේදීව සිහිපත් කළේය. වසර 76කට පසු උතුරේ ජනතාව ජාතික ජන බලවේග රජය කෙරෙහි තැබූ විශ්වාසය මත පිහිටා, ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනයට රජය ප්‍රමුඛත්වය දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
උතුරු පළාතේ පවතින දිළිඳුකම සහ සමාජ-ආර්ථික අභියෝග පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී නෝර්වේ නියෝජිත පිරිස දීර්ඝ ලෙස දැනුවත් කළේය. යුද්ධයෙන් පීඩාවට පත් වූවන් මෙන්ම, Micro-finance ණය උගුල හේතුවෙන් 60%කට ආසන්න ජනතාවක් මුහුණ දෙන දැඩි දුෂ්කරතා පිළිබඳව ඒ මහතා විශේෂයෙන් අවධාරණය කළේය. මෙම ජනතාව දරිද්‍රතාවයෙන් මුදා ගැනීම සඳහා නව කාර්මික කලාප පිහිටුවීම, පලාලි ගුවන්තොටුපළ පුළුල් කිරීම, මයිලෙඩ්ඩි ධීවර වරාය සංවර්ධනය සහ පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් රජය විසින් මේ වන විටත් දියත් කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, අනාගත පරපුර වෙනුවෙන් උතුරු පළාතේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සහ ගෘහස්ථ ක්‍රීඩාංගණයක් (Indoor Stadium) ඉදිවෙමින් පවතින බවද අමාත්‍යවරයා මෙහිදී විශේෂයෙන් සඳහන් කළේය.
ධීවර කර්මාන්තය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය වසරේ මත්ස්‍ය නිෂ්පාදනය සහ අපනයන ආදායම ඉහළ ගොස් ඇති බවයි. ජලජීවී වගා සංවර්ධනය (Aquaculture) සඳහා නෝර්වේ රජයේ තාක්ෂණික සහයෝගය අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ නෝර්වේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ තිරසාර ධීවර භාවිතයන් (Sustainable Fishing Practices) අගය කළ අතර, ධීවර ජාතියක් (Fisheries Nation) ලෙස නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළේය.
එළඹෙන අප්‍රේල් මාසයේදී අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර, එම සංචාරය තමන් ඉතා උනන්දුවෙන් අපේක්ෂා කරන බව නෝර්වේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. එම සංචාරයේදී එරට ධීවර විෂය ප්‍රවීණයන් හමුවී තාක්ෂණික දැනුම සහ විශේෂඥතාව හුවමාරු කර ගැනීමටත්, දෙරට අතර ධීවර සහයෝගීතාව නව මාවතකට යොමු කිරීමටත් බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සාගර දූෂණය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා, ධීවර වරායන්හි වසර 15කට අධික කාලයක් තිස්සේ ගොඩගැසී ඇති ඉවතලන ෆයිබර්ග්ලාස් බෝට්ටු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතිය (Fiberglass Recycling Project) පිළිබඳව නෝර්වේ දූත පිරිස දැනුවත් කළේය.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනි අතිගරු මේ-එලින් ස්ටෙනර් (H.E. May-Elin Stener) මැතිණිය, නෝර්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවන් වන මරියන් මර්වෝල් (Ms. Mariann Murvoll) සහ හොම්මා ලතීෆ් (Ms. Homma Latif) යන මහත්මීන් ඇතුළු දූත පිරිස සහ ධීවර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහභාගී වූහ.








