දිට්වා (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ධීවර ප්‍රජාවගේ යාත්‍රා සහ ආම්පන්නවලට සිදුවූ හානිය මාස හයක් (06) ඇතුළත සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. අමාත්‍යාංශය යටතේ පවතින සී-නෝර් (Cey-Nor) පදනම සහ නෝත්සී (North Sea) ආයතනය ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කර තිබේ.
සී-නෝර් සහ නෝත්සී ආයතනවල සභාපති අජිත් එදිරිසිංහ මහතා සඳහන් කළේ, විනාශ වූ ධීවර යාත්‍රා අලුත්වැඩියාව හා නව නිෂ්පාදනය සී-නෝර් ආයතනයටත්, දැල් ආම්පන්න සැපයීම නෝත්සී ආයතනයටත් පවරා ඇති බවයි. ධීවර දෙපාර්තමේන්තුව සහ ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) සමඟ එක්ව, කරදිය සහ මිරිදිය තොටුපළවල් ආවරණය කරමින් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ යාත්‍රා පිළිබඳ නිවැරදි තක්සේරුවක් මේ වන විටත් සිදු කර අවසන්ය.
ඒ අනුව, පූර්ණ වශයෙන් විනාශ වූ අඩි 19 1/2 බෝට්ටු සහ ඔරු අලුතින් නිෂ්පාදනය කිරීම කොළඹ මට්ටක්කුලිය සහ අලුතින් ස්ථාපිත කළ යාපනය කරෙයිනගර් යන යාත්‍රාංගණවලදී වේගවත් කර ඇත. මෙම කඩිනම් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ෆයිබර් ග්ලාස් තාක්ෂණය පිළිබඳ මනා පළපුරුද්දක් ඇති විශ්‍රාමික නාවික හා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සේවය ද තාවකාලික පදනම මත ලබාගෙන තිබේ. දැනටමත් නව ඔරු සිය ගණනක් සහ බෝට්ටු විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත.
විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල අභ්‍යන්තර ජලාශ ආශ්‍රිත මිරිදිය ධීවර කර්මාන්තයට අයත් අර්ධ වශයෙන් හානි වූ ඔරු විශාල ප්‍රමාණයක් දිස්ත්‍රික්ක 9ක් ආවරණය වන පරිදි මේ වනවිටත් අලුත්වැඩියා කර අවසන් කර තිබේ. එම දත්තවලට අනුව;
* කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ඔරු 55ක්
* මුලතිව් දිස්ත්‍රික්කයේ ඔරු 36ක්
* අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔරු 29ක්
* අම්පාර දිස්ත්‍රික්කයේ ඔරු 26ක්
* මන්නාරම දිස්ත්‍රික්කයේ ඔරු 16ක්
* පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඔරු 15ක්
* ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඔරු 10ක්
* වව්නියාව දිස්ත්‍රික්කයේ ඔරු 05ක්
* මඩකලපු දිස්ත්‍රික්කයේ ඔරු 47ක්
වශයෙන් සාර්ථකව අලුත්වැඩියා කර ධීවර ජනතාව වෙත ලබා දී ඇත.
මීට අමතරව, ගුරුනගර් සහ හලාවත වැනි ප්‍රදේශවල ද විශේෂ කඳවුරු පිහිටුවමින් සෙසු යාත්‍රා අලුත්වැඩියා කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ.
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ධීවර ජනතාවගේ ජීවනෝපාය මාස 6ක් ඇතුළත සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර, ඔවුන්ට සහන සැලසීම තම ආයතනවල ප්‍රමුඛතම අධිෂ්ඨානය බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.





