පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (11) දින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාන් ජනක කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් ගිහාන් සහ මොහොමඩ් ෆයිසාල් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ධීවර සමිති නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, ධීවර ජනතාවට ලබාදෙන සේවාවන් කාර්යක්ෂම කිරීමේ වැදගත්කම නිලධාරීන්ට අවධාරණය කළේය. විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ උග්‍ර වෙමින් පවතින වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් අතර, ධීවර කර්මාන්තයේ ප්‍රගතිය උදෙසා වනජීවී දෙපාර්තමේන්තුවේ සහයෝගය ද අපේක්ෂා කරන බව පැවසීය.
සාකච්ඡාවේ ප්‍රධාන තීරණ සහ ප්‍රගතිය:
වරාය සංවර්ධනයේ ප්‍රගතිය සහ නව යෝජනා:
වෙල්ලමංකර ධීවර වරායේ පහසුකම් නංවාලීම සඳහා ෆිංගර් ජැටි (Finger jetties) ඉදිකිරීමේ යෝජනා 2027 ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය විය. එමෙන්ම හලාවත මෝය කට වැසීයාමේ ගැටලුව සහ කල්පිටිය වරායේ අඩුපාඩු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. මීට අමතරව, සියලුම නැංගුරම් පොළවල් මැනුම් කර ගැසට් කිරීමට ධීවර දෙපාර්තමේන්තුව මේ වන විටත් පියවර ගනිමින් සිටින බවද අනාවරණය විය.
ආපදා ප්‍රතිසාධනය වේගවත් කිරීම:
දිට්වා සුළි කුණාටුවෙන් හලාවත වරායට මෙන්ම කුඩා ධීවර යාත්‍රාවලට සිදුවූ හානි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සී-නෝර් සහ ධීවර දෙපාර්තමේන්තුව මගින් මේ වනවිටත් කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරිණි.
වයඹ පළාත් ධීවර ලේකම්වරයා සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා ද මෙහිදී අදහස් දැක්වූ අතර, සාගර ප්ලාස්ටික් දූෂණය අවම කිරීමේ ජාතික අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.









