en banner

WhatsApp Image 2026 04 18 at 14.10.05නෝර්වේ හි බර්ගන් (Bergen) නුවර පැවැත්වෙන ‘One Ocean Week’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, නෝර්වේ රාජ්‍යයේ විශාලතම මුහුදු ආහාර හා ජලජීවී වගා සමාගමක් වන ලෙරෝයි (Lerøy Seafood Group) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හෙනින් බෙල්ටෙස්ටැඩ් (Henning Beltestad) මහතා සමඟ ඊයේ (17) විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ජේ. කහවත්ත මහතා ද සහභාගී වූහ.

මෙහිදී ලෙරෝයි සමාගමේ ජාත්‍යන්තර අත්දැකීම් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, එම සමාගම මේ වන විටත් ඉන්දියාව, චීනය සහ ජපානය වැනි ආසියානු වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇති ආකාරය පිළිබඳව කරුණු ඉදිරිපත් කෙරිණි. ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ වත්මන් තත්ත්වය, පවතින සම්පත් සහ අනාගත ආයෝජන විභවතාවයන් පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විසින් එහිදී කරුණු පැහැදිලි කරන ලදී.

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය පිරිසැකසුම් කර්මාන්තය (Seafood Processing Industry) කෙරෙහි ලෙරෝයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සිය විශේෂ උනන්දුව පළ කළේය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර පිරිසැකසුම් ක්ෂේත්‍රය සමඟ එක්ව කටයුතු කිරීමටත්, තාක්ෂණික සහ වාණිජමය වශයෙන් ශක්තිමත් සහයෝගීතාවක් ගොඩනගා ගැනීමටත් ඉදිරියේදී සෘජුව මැදිහත් වන බව ඔහු දූත පිරිස වෙත සහතික විය.

නවතම පුවත්

Youtube