‘Ditwa’ සුළි කුණාටුව හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුත්තලම දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ ඉස්සන් නිෂ්පාදකයින්ට සිය වගා කටයුතු යළි සක්‍රීය කර ගැනීම සඳහා රුපියල් මිලියන 135.7ක මූල්‍ය දායකත්වයක් පිරිනැමීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) හලාවත ‘සුදසුන’ ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී වගාකරුවන් 331 දෙනෙකු වෙත චෙක්පත් පිරිනැමූ අතර, කුණාටුව සිදුවන අවස්ථාවේ පොකුණුවල පැටවුන් තැන්පත් කර සිටි වගාකරුවන්ට රුපියල් 450,000 බැගින් ද, පැටවුන් මුදාහැර නොසිටියත් පොකුණු සහ යටිතල පහසුකම්වලට (Structures) හානි වූ වගාකරුවන්ට රුපියල් 250,000 බැගින් ද මෙම මූල්‍ය ආධාර ලබා දී ඇත.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අවධාරණය කළේ, ස්වභාවික විපත් හමුවේ කඩා වැටුණු කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට යළි නැගී සිටීමට අවශ්‍ය ආත්ම විශ්වාසය ලබා දීම රජයේ අපේක්ෂාව බවයි.
“අද දවස අපිට ඉතාම සතුටුදායක දවසක්. කුණාටුවෙන් පීඩාවට පත් වගාකරුවන් මේ වන විට නව කන්නයේ වගා කටයුතු ආරම්භ කර තිබුණත්, මත්ස්‍ය ආහාර (Feed) මිලදී ගැනීමට ඔවුන් සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බව අපට පෙනී ගියා. ඒ නිසාම ඔවුන්ගේ ඉල්ලීම පරිදි, ව්‍යාපාරික කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අතහිත දීමක් ලෙසයි අපි මෙම මුදල් ලබා දෙන්නේ. ඉදිරියේදී නවීන තාක්ෂණය භාවිත කරමින් මේ කර්මාන්තය වඩාත් ලාභදායී මාවතකට ගෙන යාම අපේ අරමුණයි,” යැයි අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා සඳහන් කළේ, ඉස්සන් කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා රජය මේ වන විට රුපියල් මිලියන 1800ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි. නිෂ්පාදකයින්, අපනයනකරුවන් සහ වගාකරුවන් ඒකාබද්ධ වූ නව වැඩපිළිවෙළක් හරහා මෙරට විදේශ විනිමය ඉපයීම ඉහළ නැංවීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සභාපති කිත්සිරි ධර්මප්‍රිය, පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම්, ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානයේ (SLADA) නියෝජිතයන් සහ පළාත් සභා නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















