ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ රාජකීය නෝර්වේ තානාපති කාර්යාලය සමග එක්ව විදේශ කටයුතු අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව සංවිධානය කරන ලද දියයට ජීවය (Blue SDG) හෙවත් 14 වන තිරසාර සංවර්ධන අරමුණ පිළිබඳව වන කලාපීය සමුළුව 2018 ජුනි 21 හා 22 දිනවල කොළඹදී පැවැත්වේ. මෙම සමුළුව 21 වැනි දින පෙ.ව. 9.00 ට මුදල් හා ජන මාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ගරු විජිත් විජිතමුණි සොයිසා සහ නොර්වේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගරු ජෙන්ස් ෆ්‍රොලික් හෝල්ට් යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සමාරම්භ කිරීමට නියමිත ය.
බෙංගාල බොක්කට මායිම්ව තිබෙන මාලදිවයින, ඉන්දියාව, බංගලාදේශය, මියන්මාරය, තායිලන්තය, මැලේසියාව හා ඉන්දුනිසියාව යන වෙරළ රාජ්‍යයන් හි මෙම 14 වන තිරසාර සංවර්ධන අරමුණ සම්බන්ධයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා විශේෂඥයින් සහ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා විශේෂඥයින් සමුළුවට සහභාගි වනු ඇත. තවද, නොර්වේ රාජ්‍යය නියෝජනය කරමින් නියෝජිත පිරිසක්ද මේ සඳහා සහභාගි වීමට නියමිත ය. එමෙන්ම, කොළඹ පිහිටා ඇති විදේශ දූත මණ්ඩල හා ජාත්‍යන්තර නියෝජ්‍යායතන වල නියෝජිත පිරිස් ද මේ සඳහා සහභාගි වනු ඇත.
මෙම 14 වන තිරසාර සංවර්ධන අරමුණ සාක්ෂාත් කර ගැනීමට නම්,
ධීවර කර්මාන්තයේ පදනම වන සජීවී සාගර සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම අවශ්‍ය වන අතර ඒ සදහා වසර 2025 ට පෙර ළගා කර ගත යුතු ඉලක්ක ගණනාවක්ම පවතී. එබැවින් මෙමගින් වෙරළ රාජ්‍යයන් වෙත නව අභියෝගයක් එල්ල වී තිබේ. මෙම අභියෝගයට මුහුණ දීම සඳහා අසැල්වැසි රාජ්‍යයන් සාමූහිකව ක්‍රියාත්මක වීම මගින් මනා ප්‍රවේශයක් සැලසෙනු ඇති බව අවබෝධ කර ගෙන ඇති බැවින් ඒ ඔස්සේ මෙම සමුළුව සංවිධානය කෙරෙනු ඇත.
බෙංගාල බොක්කේ සජීවී සාගර සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීම සදහා සාමූහික වැඩ සටහනක් සම්පාදනය කිරීමත් රාජ්‍යයන් අතර ඔවුනොවුන්ගේ වැඩ සටහන්වල අත්දැකීම් හුවමාරු කර ගැනීම හා අභියෝගයන් විශ්ලේෂණය කිරීමත් මෙම කලාපීය සමුළුවේ අරමුණු වේ.
ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපයද ඇතුළුව බෙංගාල බොක්කේ සජීවී සමුද්‍ර සම්පත් පර්යේෂණ සදහා එක්සත් ජාතීන්ගේ/නෝර්වේ රාජ්‍යයේ ආචාර්ය ෆ්‍රිඩ්ජිට් ඔෆ් නැන්සෙන් ගවේෂණ නෞකාව කොළඹ වරායට පැමිණීමද මෙම සම්මන්ත්‍රණයට සමගාමීව සිදු වනු ඇත.