මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ, මෙරට ධීවර ක්ෂේත්‍රය මුහුණ දී ඇති බරපතළ ගැටලු පිළිබඳව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ අතිගරු ජනාධිපතිතුමා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ධීවර කර්මාන්තය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සහ ධීවර ප්‍රජාව මුහුණ දී ඇති ආර්ථික පීඩනය අවම කිරීම අරමුණු කරගනිමින්, ඔවුන් වෙත විශේෂ දීමනාවක් ලබා දීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය. ඒ අනුව, අදාළ දීමනාව ලබා දීම සම්බන්ධයෙන් වූ අවසන් තීරණය අද (06) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසා සිටියේ, ගෝලීය දේශපාලන අර්බුද හමුවේ වුවද ජාතික ආර්ථිකයට සහ ආහාර සුරක්ෂිතතාවයට සුවිශාල දායකත්වයක් සපයන ධීවර ප්‍රජාව ආරක්ෂා කරගැනීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවයි. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ධීවරයින්ට මුහුදු යාමේදී ඇති වී තිබෙන බාධා ඉවත් කර, ඔවුන්ගේ ජීවනෝපාය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ ධීවර කර්මාන්තය සක්‍රීය කිරීමට රජය උපරිමයෙන් කැපවී සිටින බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම තීරණය ක්‍රියාත්මක කිරීම හරහා පීඩාවට පත් ධීවර ජනතාවට කඩිනම් සහනයක් සැලසීමටත්, මෙරට මත්ස්‍ය සැපයුම සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.





