ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ වැඩබල ප්‍රංශ තානාපතිනි මාරි-නොයෙල් ඩුරිස් මහත්මිය අතර හමුවක් ධීවර අමාත්‍යංශයේදී ජනවාරි මස 22 වැනිදා පැවැත්විණි.
2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් අත්හිටුවන ලද ප්‍රංශ සංවර්ධන ඒජන්සියේ (AFD) සහාය ඇතිව ගාල්ල, කුඩාවැල්ල, බේරුවල සහ පුරාණවැල්ල ධීවර වරාය සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබේ.
මේ පිළිබඳ මූලික සාකච්ඡා 2017 වසරේදී ආරම්භ වූ අතර අනතුරුව 2019 වසරේ සම්පූර්ණ කළ ශක්‍යතා අධ්‍යයනයන් භාරදී තිබේ. 2020 වසරේදී මූල්‍ය ආධාරයක් යටතේ පාරිසරික හා සමාජ බලපෑම් අධ්‍යයනයක් AFD පැවැත්වීමට ද එකඟවී ඇත. මෙම ව්‍යාපෘතිය 2021 වසරේදී ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් අනුමත කර තිබෙන අතර එම සැලැසුම් 2021 වසරේ සිට 2026 දක්වා පස් වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර ඇත. කෙසේවෙතත් 2022 වසරේදී ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් එය අත්හිටුවන ලදි.
ධීවර යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ දේශීය ධීවර ප්‍රජාවන්ට වඩා හොඳින් සහායවීම සඳහා මෙම මුලපිරීම නැවත පණ ගැන්වීමේ වැදගත්කම මෙම රැස්වීමේදී අවධාරණය කෙරිණි.
උතුරු හා නැගෙනහිර කලාපවල ධීවර වරායන් ප්‍රතිසංස්කරණය කිරීම, පර්යේෂකයින් සඳහා දැනුම හුවමාරු වැඩසටහනක් ස්ථාපිත කිරීම සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජ්‍යාතනය (NARA) සමග විශේශයෙන් තල්මසුන් සහ මුහුදු ක්ශීරපායින් සම්බන්ධ පර්යේෂණ වලට සහාය ලබාදීමත් සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු විය. ශ්‍රී ලංකාවේ ධීවර අංශ නවීකරණය කිරීමට සහ එය රටේ වර්ධනය වන සංචාරක කර්මාන්තය සමඟ ඒකබද්ධ කිරීමට සහාය වන බව ප්‍රංශ තානාපතිනිය අවධාරණය කළාය.
අදාළ හමුවට කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ආචාර්ය බී.කේ කෝලිත කමල් ජිනදාස මහතා රැස්වීමට සහභාගී වූහ.