ධීවර කර්මාන්තයේ නියතු ධීවර කාර්මිකයන්ගේ මත්ස්‍ය අස්වැන්න ඉහළ දැමීමේ අරමුණින් කොග්ගල කලපුවට මත්ස්‍ය පැටවුන් 60,000ක් මුදා හැරීම පසුගිය 26වනදා කතළුව ගුරුකන්ද තොටුපලේදී සිදු කෙරිණි.
දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් "දෙසතියක මහිමය" වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස සංවිධානය කර තිබු මෙම අවස්ථාවට ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සහ දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම් විදුර කාරියවසම් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරියේ නිළධාරීහු එක්ව සිටියහ.
දේශීය මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනයට මෙන්ම පරිසර සංරක්ෂණය සඳහාද වැදගත් පියවරක් මෙමගින් සනිටුහන් කෙරුණු අතර කොග්ගල කලපුවේ ජලජීවී සම්පත් ආරක්ෂා කිරීම සහ ධීවරයින්ගේ ආදායම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙවැනි වැඩසටහන් ඉදිරියටද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර “Clean Sri Lanka” වැඩසටහන යටතේ ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කළ "දෙසතියක මහිමය" වැඩසටහනක් පෙබරවාරි 15 සිට මාර්තු 2 දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ, හබරාදුව මැතිවරණ කොට්ඨාසයේදී පැවැත්වේ.
එම ප්‍රදේශයේ ජිවත්වන ජනතාවට වඩා හොඳ ජීවන තත්ත්වයක් සහතික කිරීමට ඉවහල් වන යටිතල පහසුකම් සංවර්ධනය සහ පාරිසරික තිරසාරභාවය හා සමාජ සුභසාධනය වැඩිදියුණු කිරීම කෙරෙහි මෙමගින් අවධානය යොමු කෙර්.
ඒ අනුව ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය, ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය සහ ග්‍රාමීය පාසල් වැඩිදියුණු කිරීම හා අත්‍යවශ්‍ය පොදු පහසුකම් සංවර්ධනය ඊට ඇතුළත්ය.
ප්‍රජා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා සමුපකාර ප්‍රාදේශීය මධ්‍යස්ථාන ස්ථාපිත කෙරෙන අතර, කෘෂිකාර්මික හා ධීවර අංශයන්හි සංවර්ධන වැඩසටහන් ජීවනෝපායන් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වේ. ඊට අමතරව, වැඩි ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා ග්‍රාමීය කර්මාන්ත සහ ස්වයං රැකියා ව්‍යාපෘති හඳුන්වා දීමද සිදු කෙරේ.
එමෙන්ම බටහිර සහ දේශීය වෛද්‍ය ප්‍රතිකාර තුලින් මහජනතාව වෙත සෞඛ්‍ය සේවා සපයමින් සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව තහවුරු කිරීම සිදු කෙරෙන අතර පිරිසිදු පරිසරයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නාගරික පවිත්‍රතාව සහ අපද්‍රව්‍ය කළමනාකරණය පවත්වා ගැනීමටද උනන්දු කෙරේ.