"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් මඩකලපුව ධීවර ප්‍රජාවට රුපියල් මිලියන 26.9ක සහන ලබාදීමේ වැඩසටහනට සමගාමීව, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පසුගිය 11 වන දින වාලච්චේන ධීවර වරායේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
නැගෙනහිර පළාතේ ධීවර කර්මාන්තයේ කේන්ද්‍රස්ථානයක් වන මෙම වරාය පූර්ණ ලෙස සංවර්ධනය කිරීම සඳහා රජය රුපියල් මිලියන 1,300ක මුදලක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය. එහි මූලික අදියර යටතේ වරායේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ කඩිනම් ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 400ක ප්‍රතිපාදන මේ වනවිටත් වෙන් කර ඇත.
අමාත්‍යවරයා වරාය පරිශ්‍රය නිරීක්ෂණය කරමින්, එහි වත්මන් අවශ්‍යතා සහ අනාගත සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් නිලධාරීන් හා ධීවර ප්‍රජාව සමග පුළුල් සාකච්ඡාවක නිරත විය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා:
"ධීවර ජනතාවගේ ජීවිත වඩාත් සුරක්ෂිත සහ ආර්ථික වශයෙන් ස්ථාවර තත්ත්වයකට පත් කිරීම අප රජයේ ප්‍රමුඛතම වගකීමක්. ඒ උදෙසා සමස්ත ධීවර කර්මාන්තයම නවීකරණය කරමින්, වරාය යටිතල පහසුකම් අඛණ්ඩව ශක්තිමත් කිරීමට අප පියවර ගනිමින් සිටිනවා. වාලච්චේන ධීවර ප්‍රජාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවක් වූ මෙම සංවර්ධන කටයුතු කඩිනමින් යථාර්ථයක් කරමින්, ඔවුන්ගේ ජීවනෝපාය නගා සිටුවන තිරසාර වෙනසක් ඇති කරන බවට මම සහතික වෙනවා."







