රටේ පවතින විශේෂ තත්ත්වය පිළිබඳව ජනාධිපතිතුමා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළද, ධීවර ක්ෂේත්‍රයට අදාළ අත්‍යවශ්‍ය සේවා සියල්ල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පවසයි.
ඒ අනුව, ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් ඒකකය, මෙහෙයුම් අංශය, යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය (VMS) සහ කටුනායක ගුවන්තොටුපොළේ මත්ස්‍ය ආනයන-අපනයන අංශය ඇතුළු සියලුම ඒකක සතියේ දින හතේම පැය 24 පුරා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වේ. ධීවර ජනතාවට සහ අපනයනකරුවන්ට ඕනෑම මොහොතක මෙම සේවාවන් බාධාවකින් තොරව ලබාගත හැකිය.
පවතින ගෝලීය යුද වාතාවරණය හමුවේ ඇති වී තිබෙන ඉන්ධන ගැටලුවට විසඳුම් ලෙස ධීවර ක්ෂේත්‍රය සඳහා විශේෂ ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් රජය හඳුන්වා දී ඇත. ඒ යටතේ සහන සලසන ආකාරය ලේකම්වරයා මෙසේ පැහැදිලි කළේය:
බහුදින ධීවර යාත්‍රා: සියලුම ධීවර වරායන්ගෙන් තමන්ගේ පිටත්වීමේ පත්‍රිකාව (Departure Form) පදනම් කරගනිමින් අවශ්‍ය ඩීසල් ලබාගත හැක.
එක්දින සහ සුළුපන්න යාත්‍රා: භූමිතෙල් (Kerosene) සහ පෙට්‍රල් ලබාදීම සඳහා ධීවර පරීක්ෂකවරුන් නිලධාරින් හරහා අදාළ ඉන්ධනහල් වෙත යාත්‍රා නාමලේඛන දැනටමත් යොමු කර ඇත. ඒ අනුව, සතියකට දින 4ක් රැකියාවේ නිරත වන බවට උපකල්පනය කරමින් සතියකට භූමිතෙල් ලීටර් 100ක ප්‍රමාණයක් සහ එන්ජිම පණගැන්වීමට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණය ලබාගත හැක. ධීවරයින්ට තමන්ගේ ප්‍රදේශයේ ධීවර නිලධාරින් හරහා මෙය සම්බන්ධීකරණය කරගත හැකිය.
පිරිසැකසුම් සහ ජලජීවී වගා මධ්‍යස්ථාන: මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන සහ ජලජීවී වගා මධ්‍යස්ථානවල ජෙනරේටර් සහ බොයිලර් සඳහා අවශ්‍ය ඉන්ධන සම්බන්ධීකරණය ධීවර අමාත්‍යාංශය හරහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ එක්ව සිදු කෙරේ.
ධීවර සහ ජලජීවී වගා කර්මාන්තකරුවන්ට ඉන්ධන ලබාගැනීමේදී ඇතිවන ඕනෑම ගැටලුවක් දැනුම් දීම සඳහා 011 432 3389 දරන හදිසි ඇමතුම් අංකය පැය 24 පුරා විවෘතව පවතින බවද ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.





