ඉතිහාසයේ පළමු වරට අමාත්‍යවරයෙකු පට්නංගල ධීවර තොටුපළ නිරීක්ෂණයට
යාල ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව පිහිටා ඇති පට්නංගල සහ ආමදූව සංක්‍රමණික ධීවර තොටුපළවල පවතින ගැටලු සොයා බැලීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ඊයේ (27) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඉතිහාසයේ ධීවර අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු පට්නංගල ධීවර තොටුපළ නිරීක්ෂණය සඳහා පැමිණි පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා, තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ තංගල්ල සහකාර අධ්‍යක්ෂවරයා සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
පට්නංගල සංක්‍රමණික ධීවර තොටුපළ:
යාල ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මෙම තොටුපළෙහි අපනයන වටිනාකමින් ඉහළ පොකිරිස්සන් වැනි මත්ස්‍ය අස්වැන්නක් ලැබෙන බව නිරීක්ෂණය විය. දැනට පිටත එන්ජිම සහිත යාත්‍රා 07ක් සහ ධීවරයින් 18 දෙනෙකු පමණක් වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය මත මෙහි රැකියාවේ නිරත වේ.
මෙහිදී ධීවර ප්‍රජාව පෙන්වා දුන්නේ කාලයක් තිස්සේ ලබා දී තිබූ බලපත්‍ර සංඛ්‍යාව සහ වාඩි පහසුකම් ක්‍රමයෙන් අඩු වී ඇති බවයි. යාත්‍රා සංඛ්‍යාව 10-12ක් දක්වාත්, ධීවරයින් සංඛ්‍යාව 30-35ක් දක්වාත් වැඩි කර දෙන ලෙසත්, පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම විසඳා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ. වනජීවී කලාපයක් තුළ පිහිටා ඇති බැවින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සම්බන්ධීකරණය වෙමින් මෙම ගැටලු විසඳා දීමට මැදිහත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ආමදූව සංක්‍රමණික ධීවර තොටුපළ සහ යටිතල පහසුකම් සංවර්ධනය:
ධීවර යාත්‍රා 78ක්, යාන්ත්‍රික ඔරු 02ක් සහ ධීවරයින් 150ක් පමණ රැකියාවේ නිරත වන ආමදූව තොටුපළේ ප්‍රධාන ගැටලු රැසක් හඳුනා ගැනිණි. වරායට ප්‍රවේශය හඳුනා ගැනීම සඳහා ‘බීකන් ලයිට්’ (Beacon Light) පද්ධතියක අවශ්‍යතාවයත්, අබලන් වී ඇති ප්‍රවිෂ්ට මාර්ගය පිළිසකර කර වර්ෂා කාලයේදී ගමන් කිරීම පහසු කිරීමට බෝක්කුවක් ඉදි කර දෙන ලෙසත් ධීවරයෝ ඉල්ලා සිටියහ.
මෙම තොටුපළවල පවතින උග්‍ර පානීය ජල ගැටලුව සහ සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම විසඳීම සඳහා මෙවර අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 15ක මුදලක් වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. තවද, නෙළා ගන්නා මත්ස්‍ය අස්වැන්න ප්‍රමිතියෙන් යුතුව තාවකාලිකව ගබඩා කිරීම සඳහා තාප පරිවාරක පෙට්ටි (Insulated boxes) ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡා විය.
පරිසර සංවේදී කලාපවල මෙම තොටුපළවල් පිහිටා ඇති බැවින්, පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසාර ලෙස කර්මාන්තයේ නියැලීමේ වැදගත්කම නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ධීවරයින්ට පෙන්වා දුන්නේය. වනජීවී දෙපාර්තමේන්තුව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර, නීත්‍යානුකූල රාමුවක් තුළ මෙම ධීවර ජනතාවට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය මැදිහත් වන බවට නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පොරොන්දු විය.









