ඉන්දියානු සාගරයේ වෙළඳ කෙන්ද්‍රස්ථානයක් ලෙස ශතවර්ෂ ගණනාවක් පුරා කීර්තිමත් නාමයක් හිමි ශ්‍රී ලංකාව ස්වාභාවික සම්පත් බහුල මෙන්ම ඉහළ අධ්‍යාපනික කුසලතා සපිරි ප්රගාමී ශ්‍රම බලකායකින්ද සමන්විත මධ්‍යම ප්‍රමාණයේ දුපත් රාජ්‍යයකි.
ප්රගතිශීලි ආර්ථික ප්‍රතිපත්තියක් හරහා ශ්‍රී ලංකාව ඉන්දියානු අර්ධද්වීපයේ පිවිසුම් ද්වාරය බවට පත්ව තිබේ. ඉන්දියාව සහ පාකිස්තානය සමග ඇති කරගෙන ඇති ඉතා වාසිදායක නිදහස් වෙළඳ ගිවිසුම මගින් බිලියන 1.4 කට අධික ජනතාවකට වෙළඳපොළ ප්‍රවේශය සඳහා මංපෙත් විවරව පවතී.
යුරෝපා සංගමය වෙත වරණීය වෙළඳ ගිවිසුම සඳහා ප්‍රවේශ වීම සහ චීනය හා සිංගප්පූරුව සමග සිදු කරගෙන යනු ලබන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස අපනයන කෙන්ද්‍රස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාවට නුදුරු අනාගතයේ දී මිලියන 3 කට අධික ජනකායක් සමග වරණීය වෙළඳ කටයුතුවල නිරත වීමට ඉඩහසර සැලසෙමින් පවතී.
ස්ථාවර සහ සාමකාමී ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයක් සමගින් ශ්‍රී ලංකාව දේශීය සහ විදේශීය ආයෝජකයන් සඳහා ප්‍රධාන ආයෝජන තෝතැන්නක් බවට පත් වී ඇත. ඉතා නුදුරේ දී ඉහළ මධ්‍යම පන්තික ආදායම් ලබන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත්වන අතර සංවර්ධන වෙමින් පවතින රාජ්‍යයන් අතර ඉහළ තරඟකාරී ආර්ථිකයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව ආයෝජකයින් හට සුරක්ෂිත, ව්‍යාපාර හිතකාමී ආයෝජන පසුතලයක් සපයනු ලබයි.
පැරැන්නන් විසින් “සෙරන්ඩිබ්’’ සහ “ඉන්දියානු සාගරයේ මුතු ඇටය’’ලෙස හඳුන්වනු ලැබූ ශ්‍රී ලංකාවෙහි සමුද්‍රීය, ජලජ සහ ධීවර ක්ෂේත්රයන්හි සිත් ඇදගන්නා සුළු නව ආයෝජන අවස්ථා රාශියක් ආයෝජකයින් සඳහා විවෘතව පවතී.
ඒවායින් කිහිපයක් පහත දක්වා තිබේ :
ධීවර ක්ෂේත්රය
- මීටර් 24 – 25 වර්ගයේ ටූනා මරුවැල් පන්න ධීවර යාත්‍රා හඳුන්වාදීම මගින් මහ මුහුදේ ධිවර කටයුතු සඳහා වු දේශීය යාත්‍රා ඇණිය ශක්තිමත් කිරීම.
- අනන්‍ය ආර්ථික කලාපය තුළ දැල්ලන් සහ ගැඹුරු මුහුදේ පොකිරිස්සන් වැනි අවම ලෙස භාවිතා කරන ලද හෝ භාවිතා නොකරන ලද ඉහළ වටිනාකමින් යුතු මත්ස්‍ය සම්පත් නෙළා ගැනීම.
- ශ්‍රී ලංකා මුහුදු කලාපයෙන් පිටතදී විදේශීය යාත්‍රා මගින් නෙළා ගනු ලබන මසුන් සකස් කිරීම සහ ප්‍රති අපනයනය කිරීම.
- ආනයනය කරන ලද මසුන් ටින් කරන ලද මසුන් ලෙස හෝ වෙනයම් ආකාරයක වැඩිදියුණු කරන ලද මත්ස්‍ය නිෂ්පාදනයක් ලෙස හෝ ප්‍රති අපනයනය කිරීම.
- අපනයන සඳහා දේශීය වශයෙන් නිෂ්පාදන කරන ලද මත්ස්‍ය නිෂ්පාදන අගය එකතු කරන ලද මත්ස්‍ය නිෂ්පාදන ලෙස වැඩිදියුණු කිරීම, - වර්තමානයේ දී බොහෝ මසුන්, ඉස්සන් සහ අනෙකුත් මත්ස්‍ය නිෂ්පාදන අපනයනයට පෙර අනවශ්‍ය කොටස් ඉවත් කර ආහාරයට සුදුසු පරිදි සකස් කිරීම පමණක් සිදු කරනු ලැබේ.
- අයිස් යන්ත්රාගාර, ශීතාගාර සහ ශීත දාමය (Cold chain) ස්ථාපිත කිරීම, - අයිස් නිෂ්පාදනය සහ සැපයුම මත්ස්‍ය වෙළඳාම සමග සම්බන්ධ කරමින් ආයෝජකයා සහ ධීවරයා යන දෙදෙනාටම වාසිදායක වන අන්දමින් එක් විශේෂිත වෙරළ කලාපයක් සඳහා ශීත දාමයක් එක් ආයෝජකයෙකු විසින් ස්ථාපිත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
- බෝට්ටු අළුත්වැඩියා සහ බෝට්ටු වරායෙන් ඔසවා පිටතට ගෙන අළුත්වැඩියා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම ඇතුළු තටාකගත කිරීමේ පහසුකම් - මෙකී කටයුතු ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සහ සම්බන්ධ වී සිදු කළ හැකි අතර, ආයෝජකයින් හට, ඉංජිනේරු අළුත්වැඩියා සේවාවද මෙකී සේවාවන් සඳහා අන්තර්ගත කළ හැක.
ධීවර ව්‍යාපෘති සහ අදාළ නීතිරීති මෙන්ම රෙගුලාසි පිළිබඳ වැඩිදුර තොරතුරු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෙතින් ලබා ගත හැක : www.fisheriesdept.gov.lk
ජලජීවී වගා ක්ෂේත්රය
- ජලජීවී වගා උද්‍යාන.
- යාපනය, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කයන් හි ජලජීවී වගාව.
- උතුරු පළාතේ මුහුදු පැළැටි වගාව. (මන්නාරම, කිලිනොච්චිය සහ යාපනය)
- පුත්තලම දිස්ත්‍රික්කයේ දැනට පවත්නා ඉස්සන් වගා ගොවිපොළවල් නවීකරණය කිරීම.
- වයඹ ප්‍රදේශයේ පවතින සතුටුදායී ක්රියාකාරීත්වයක් නොදක්වන ඉස්සන් වගා ගොවිපොළවල් වල, රතු තිලාපියා හෝ වේක්කයා වගාව හෝ පොකුණු වගාව.
- ශ්‍රී ලංකාවේ විසිතුරු මසුන් සහ විසිතුරු පැළෑටි වගාව.
- ‘‘ගප්පි’’ වැනි ශ්‍රී ලාංකීක විසිතුරු මසුන් විශාල ප්‍රභේදයන්ගෙන් සහ පහසුවෙන් අනුවර්තය වීමේ හැකියාවෙන් යුතු බැවින් අන්තර්ජාතිකව ජනප්‍රිය වී තිබේ.
- මුහුදු කූඩැල්ලන් වගාව.
- දෙපියලි මොලුස්කාවන් වගාව. (බෙල්ලන් සහ මට්ටයන්)
- මඩ - කකුළුවන් (mud crab) වගාව සහ නිල් - මුහුදු කකුළුවන් (blue-swimming crab) වගාව.
- සමුදීය ජලජීවී වගාව. (මොදා මසුන්, ටූනා, Grouper සහ Cobia මසුන්)
ජලජීවී වගා ව්‍යාපෘති පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්යක්ෂ(වෙරළ ජලජීවී වගාව), ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය වෙතින් ලබා ගත හැක : www.naqda.gov.lk
ධීවර සහ ජලජීවී වගා කර්මාන්තය සඳහා යෙදවුම්
- ධීවර ආම්පන්න නිෂ්පාදන. (ධීවර ලණූ, දැල්, ඇම ආදිය)
- ඉස්සන් සහ අනෙකුත් ජලජීවී මත්ස්‍ය ආහාර නිෂ්පාදනය. (වර්තමානයේ මෙම අවශ්‍යතාවය සම්පූර්ණයෙන් ඉටුකරගනු ලබන්නේ අමුද්රව් ආනයනය කිරීම මගිනි. මින් බොහෝ අමුද්‍රව්‍ය ඉවත දමන මත්ස්‍ය කොටස් සහ දේශියව ලබා ගත හැකි විවිධ ධාන්‍ය වර්ග වලින් සපයා ගත හැක.)
- අපනයනය සඳහා බෝට්ටු නිෂ්පාදනය - ශ්‍රී ලංකා සමාගම් විසින් ධීවර බෝට්ටු, විනෝද කටයුතු සඳහා යාත්‍රා, රේගුව සහ වෙරළාරක්ෂක බලකාය වෙත සුඛෝපභෝගී සහ නිරීක්ෂණ යාත්‍රා, ජිවිතාරක්ෂක බෝට්ටු ආදිය මාලදිවයින, සීෂෙල්ස්, මැද පෙරදිග සහ එක්සත් රාජධානිය, ප්‍රංශය, ඕලන්දය සහ නෝර්වේ වැනි යුරෝපා රටවල්වල අවශ්‍යතාවන්ට අනුකූල වන අන්දමින් සපයා ඇත.
අනෙකුත් ක්‍රියාකාරකම්
- මත්ස්‍ය නිෂ්පාදන අවන්හල් ස්ථාපනය - රටේ ප්‍රධාන නගරයන්හි මත්ස්‍ය නිෂ්පාදන අවන්හල් හි වෙළඳ ආයෝජන අවස්ථා පවතී.
- මැරීනා වරායන් ස්ථාපනය, තල්මසුන් නැරඹීමේ සහ මසුන් ඇල්ලීමේ විනෝද ක්‍රීඩා පහසුකම් සැලසීම.
- පාරිසරික සංචාරක කර්මාන්තය - ශ්‍රී ලංකාවේ දර්ශනීය පාරිසරික සංචාරක සම්පත් හේතුවෙන්, එය ස්වාභාවික සහ පරිසර හිතකාමී සංචාරක කටයුතු සඳහා අනගි තෝතැන්නක් වේ.
- නවීන තාක්ෂණයෙන් යුතු දිය යට මින් මැදුරක් සහ ධීවර කෞතුකාගාරයක් ස්ථාපනය කිරීම - සමුද්‍රීය මසුන්ගෙන් යුතු විශාල පරිමාණයේ මහජන මින්මැදුරු ශ්‍රී ලංකාවේ නොමැත. මෙකී මින්මැදුර ධීවර කෞතුකාගාරයකින්ද සමන්විත විය යුතුය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් නියම කර ඇති විදේශ ආයෝජන සඳහා ඉල්ලුම් කිරීමේ අවශ්‍යතා : www.investsrilanka.com