en banner

WhatsApp Image 2025 08 20 at 09.34.20එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූල්‍ය දායකත්වය යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ජලජීවී වගා ක්ෂේත්‍රය නංවාලීම සඳහා ක්‍රියාත්මක වූ “තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය” (Technical Cooperation Project) සාර්ථකව නිම කිරීම නිමිත්තෙන් විශේෂ වැඩමුළුවක් ඊයේ (2025 අගෝස්තු 19) දින අම්පාරේදී පැවැත්විණි.

ව්‍යාපෘතියේ ප්‍රතිඵල සහ අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය.

මෙම ව්‍යාපෘතිය සඳහා FAO සංවිධානය විසින් ඇමරිකානු ඩොලර් 150,000ක මූල්‍ය පිරිවැයක් දරනු ලැබු අතර, එහි මූලික අරමුණ වූයේ අම්පාර දිස්ත්‍රික්කයේ ජලජීවී වගා ක්ෂේත්‍රය ඉහළ මට්ටමකට ගෙන ඒම තුළින් එය අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ආදර්ශයක් බවට පත්කිරීමයි. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) විසින් ඉදිරිපත් කරන ලද “වැව අපේ කම්හලයි” සංකල්පය ප්‍රායෝගිකව අත්හදා බැලීමට සහ තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ව්‍යාපෘතිය ඉවහල් විය.

ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කෙරිණි:

* ඉඟිනියාගල පිහිටි ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානයේ අබලන්ව පැවති පොකුණු ප්‍රතිසංස්කරණය කිරීම.

* එක්ගල්ඔය ප්‍රජා මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයට විදුලිය, නව අභිජනන පොකුණු සහ මත්ස්‍ය බිත්තර රැක්කවීමේ උපකරණ (Hatchery Jars) ලබාදීම.

* රජ වැව ධීවර ප්‍රජාවට මත්ස්‍ය ආහාර නිෂ්පාදන යන්ත්‍රයක් (Feed Mill) ලබාදීම.

* තෝරාගත් වැව් පහක් (පන්නල්ගම, කොණ්ඩුවටුවාන, හිමිදුරාව, එක්ගල්ඔය, නාමල්ඔය) සඳහා “වැව අපේ කම්හලයි” වැඩසටහන යටතේ ව්‍යාපාර සැලසුම් සහ මත්ස්‍ය පැටවුන් තැන්පත් කිරීමේ සැලසුම් (Stocking Plans) සකස් කිරීම.

* මහාචාර්ය උපාලි අමරසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ධීවරයින් සඳහා 'යහපත් ධීවර පරිචයන්' (Good Fishery Practices) පිළිබඳ පුහුණුව ලබාදීම.

* ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය (NARA) මගින් මෙම වැව් ආශ්‍රිතව සමාජ-ආර්ථික අධ්‍යයනයක් සිදුකිරීම.

මෙම වැඩමුළුව සඳහා රාජ්‍ය නිලධාරීන්, විවිධ ආයතන නියෝජිතයින් සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ වැව් ආශ්‍රිත ධීවර ප්‍රජාවන්ගේ නියෝජිතයින් සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා, "මෙම ව්‍යාපෘතිය හරහා ලබාගත් අත්දැකීම් අතිශයින්ම වටිනවා. ‘වැව අපේ කම්හලයි’ කියන සංකල්පය යථාර්ථයක් බවට පත් කරන්න මේ ව්‍යාපෘතියෙන් විශාල ශක්තියක් ලැබුණා. ඉදිරියේදී මේ අත්දැකීම් පාදක කරගෙන, නිලධාරීන් සඳහා නිශ්චිත කාර්යසාධන දර්ශක (KPI) හඳුන්වා දී, ස්වයං මුල්‍ය ධීවර කළමනාකරණයක් සහ ජලජීවී වගාවක් රට තුළ ස්ථාපිත කිරීම අපේ අරමුණයි" යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙම ව්‍යාපෘතිය මගින් ලබාගත් දැනුම හා අත්දැකීම් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

WhatsApp Image 2025 08 20 at 09.34.20 1

WhatsApp Image 2025 08 20 at 09.34.21

WhatsApp Image 2025 08 20 at 09.34.21 1

சமீபத்திய செய்திகள்

Youtube