ජාතික ධීවර මහා සම්මේලනය
ධීවර ප්‍රජාවගේ සහ ධීවර කර්මාන්තයේ තිරසාර සංවර්ධනය සඳහා පහසුකම් සැපයීමේ අරමුණින් ජාතික ධීවර සම්මේලනය 2010 වසරේ දී ආරම්භ කරන ලදී. ආර්ථික හා සමාජමය වශයෙන් ශක්තිමත්, නවීන ලෝකයට ගැලපෙන අභිමානවත් ධීවර ප්‍රජාවක් ගොඩ නැගීම ජාතික ධීවර මහා සම්මේලනයේ දැක්ම වේ.
පෑලියගොඩ අති -නවීන මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය
2006 වසර සඳහා අයවැය යෝජනාවට අනුකූලව කොළඹ කොටුවේ පිහිටා ඇති ශාන්ත ජෝන් මත්ස්‍ය වෙළඳසැල වෙනුවට නව මධ්‍යම මත්ස්‍ය වෙළඳපලක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා රජය කරන ලද්දේ අරමුණු කිහිපයක් පෙරදැරි කරගෙනය. ඒවා නම්,
- පාරිභෝගිකයින් සඳහා සෞඛ්යාරක්ෂිත, ඉහළ ගුණාත්මක තත්ත්වයන් යුතු මසුන් සාධාරණ මිළකට සැපයීම.
- සම්මත ප්‍රමිතීන්ට අනුකූලව මත්ස්‍ය වෙලදාම පවත්වාගෙන යාම.
- පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ප්‍රමාණවත් ඉඩකඩ හා පහසුකම් සැපයීම.
- ශාන්ත ජෝන් වෙළෙඳපොළ අවට ප්‍රදේශයේ පිහිටි මාර්ගවල ඇතිවන වාහන තදබදය මඟහැරවීම සහ ව්‍යාපාරිකයින්ට සහ පාරිභෝගිකයින්ට ප්‍රමාණවත් වාහන ගාල් කිරීමේ පහසුකම් සැපයීම.
ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපාදන යොදා පෑලියගොඩ පිහිටි අති - නවීන මධ්‍යම මත්ස්‍ය වෙළඳපොළ සංකීර්ණය ඉදි කොට ඇත. හෙක්ටයාර් 3.17 ක විශාලත්වයකින් යුත් භූමි භාගයක පිහිටුවා ඇති මෙම මධ්‍යම මත්ස්‍ය වෙළඳපළ සංකීර්ණය වෙළඳ කුටි 148 කින් සමන්විත තොග වෙළඳපළකින්ද, වෙළඳකුටි 128 කින් සමන්විත සිල්ලර වෙළෙඳපළකින්ද, දිනකට මෙට්‍රික් ටොන් 25 ක ධාරිතාවක් සහිත පතුරු අයිස් යන්ත්රාගාරයක්, ශීතාගාර තුනක්, නවීන භෝජනාගාරයක්, බැංකු පහසුකම්, තැපැල් කාර්යාලයක්, පොලිස් මුරපොළක් හා තත්ත්ව පරීක්ෂණ විද්‍යාගාරයක් යනාදී අංශ සඳහා පහසුකම් වලින් සමන්විත වේ. එයට අමතරව වාහන පන්සියයක් පමණ ගාල් කිරීමේ පහසුකම්ද මෙම සංකීර්ණය තුළ පවතී.